Wednesday, October 23, 2013

තවත් සන්දර්ශන දෙකක් තුනක්


2014 වර්ෂය සඳහා වන අය වැය ලේඛනය මේ දිනවල ලහි ලහියේ සැකසෙමින් පවතී. රජයම පවසන ලෙස ශ්‍රී ලංකාව ආදායම් තව තවත් වැඩි කරගතයුතු අවදානම් අවස්ථාවක පසුවේ. ඔය කියන අවදානම කවදත් පැවතුන එකකි. මුල්‍ය කළමනාකරනය අතින් කවදත් අසමත් ලංකාව තම අසීමිත විදේශ ණය වාරිකය හා පොළිය ගෙවා ගැනීමටද වෙළඳ හිඟය පියවීමටද මගක් සොයමින් සිටී. හිතුමතේ මහාපරිමාණ ව්‍යාපෘති කරමින් ඒවායින් ලබන ප්‍රතිලාභද අහිමි කරගනිමින් කොමිස් ගැසීම සඳහාම ව්‍යාපෘති කෙරෙන මට්ටමකට ඇදවැටී ඇත. පෙර පැවති දූශිත රජයයන් හි සිටි දේශපාලුවන් සිදුකෙරෙන ව්‍යාපෘති තුලින් කොමිස් ලබාගත්තද දැන් සිදුවනුයේ කොමිස් ලැබීමේ හෝ නම බැබලවීමේ අරමුනින් ඒ සඳහාම සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමය. දේශපාලුවන් පමණක් නොව උන් වටේ සිටින එහෙයියන් ගැත්තන් මතු නොව බලු කුක්කන් ගේ පවා ජීවිත සුඛිත මුදිත වී තිබෙන්නේ ඒ අනුභාවයෙනි. ආර්ථිකය දියුනු කිරීම සඳහා රජය තවදුරත් සේවා අංශය දෙස අවධානය යොමු කර ඇති බව පැහැදිලිය. 


         මෑතක සිට ඇසෙන කැසිනෝ ගාලගෝට්ටියද එවැන්නකි. දේශප්‍රේමී හංවඩුව ගසාගත් බලවේග විසින් මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට ඔසවා තැබීමෙන් පසු  සිදුකරන ලද තීරනාත්මක යුධමෙහෙයුම් වලින් පසු තම පැවත්ම තහවුරු කරගත් ඔහුට තව දශකයක් උව බලයේ සිටීමට එය ප්‍රමානවත්ය. ඒ අතර ඔහු වටා ඒකරාශී වු ව්‍යාපාරික බලමුළු රිසි සේ තම සුරාකෑම සිදුකරගෙන යයි. ධනේශවරයට පාට පක්ශ මතවාද නැත. ඇත්තේ එකම බල කඳවුරකි. දකුනේ පමණක් නොව උතුරේත් තත්වය එයයි. බිම් මට්ටමේ මතවාදයන් අති ශූක්ශමව නඩත්තු කරන
අතරේ ඉහල මට්ටමේදී සියල්ලෝම ක්‍රමය හා සැතපෙති. බොහෝ දෙනෙකු තේරුම් නොගත් දේශපාලන යතාර්තය එයයි. සිංහල බෞද්ධ වේවා දෙමළ මුස්ලිම් ජාතික විජාතික හලාල් හරාම් UNP TNA යන මේ සියල්ලට මැදිව දුක් විඳින්නෝ පොදු ජනතාව නොහොත් හිඟන්නෝය. යම් දිනක හිඟන්නන් රජ වුවද පවතින්නේ එම ක්‍රමයම වේ. මෙහිදී ජ.වි.පේ ක්‍රියාකරිත්වද ප්‍රශ්නාර්තයකි. ක්‍රමය වෙනස් කිරීමට පොරොන්දු වුවෝද සියල්ලට ඉහලින් තම පැවත්ම ‍තෝරාගෙන ඇත්දැයි සැක සිතේ.  වේදිකාවල කෑමොරදී අප වෙනුවෙන් පෙනීසිටින්නට පත් කරගත්තවුන් ගැන තවදුරටත් විශ්වාසය තැබිය යුතු නොවේ. බිම්මට්ටමේදී අප තනිව අප වෙනුවෙන් පෙනීසිටිය යුතු යුගය පැමිණ තිබේ.

          ජාති ආගම් ආදී ගෝත්‍රික මතවාද දිලින්දා මත පටවා උනූන් ඇන කොටාගන්ට සලසවා තමන්ගේ පංගුව කේවල් කරමින් සිටින මේ කපටි නරින් මත යැපීම වහ වහා නැවත්විය යුතුය. තවත් රතුපස්වලක් පිළියන්දල නිර්මාණය වීමෙන් අනූ නමයෙන් අප බේරුනි.

කැසිනෝ වලට අප විරුද්ධ වීමට හේතුවක් නැතත් අසීමාන්තික බදු සහන ලබාදීමේ හේතුව කුමක්ද?
රජයට සත පහක ආදායමක් නොලැබෙන ලෙස සිදුකරන මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල අරමුණ කුමක්ද?
නම ගැසීමේ හා කොමිස් ගැසීමේ අරමුනින් පමණක් සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමෙන් බලාපොරොත්තුවන සංවර්ධනය කිම?

අප කලයුත්තේ අධිවේගී මාර්ග වරාය පර්යන්ත ආදිය විවෘත කිරීමට ප්‍රථම එම සංදර්ශන නැරඹීමට ගොස් සතු‍ටු කඳුලු හෙලීම නොව මුල්ලකට වී හඬාවැලපීමයි.





ප.ලි.   සම්බන්ධිත ලිපි (ලිකාරස් ගේ පාඩම)

.

Tuesday, October 15, 2013

මරණය ගැන යලි කියවීමක්... | A story about death...

ජීවත්වන අප අසන්නට පවා අකමැති වචනයක් වන "මරණය" ගැන ආපු අදහසක් මේ විදිහට අකුරු කරල දාන්න හිතුනා. මේ ලෝකේ නටන න‍ටුම් ඔක්කොම අහවර කොරල අන්තිමට යන්න තියෙන  ගමනට කල්තියා ලෑස්තිවෙලා අවබෝධයකින් ඉන්න එක අපි කාටත් හොඳයි නෙව. අමුතු විදිහක් ඕකේ නැහැ. අපේ කැමැත්තක් ඉ‍ටුවීමක් නැත්නම් ආශිර්වාදයක් තමා මරණය කියන්නෙ. අපට උවමනා පරිදි අපේ කැමැත්ත ඉ‍ටුවීමක් කියල කිව්වම මට ගල් ගහන්න කාරි නැහැ. කවුද කැමැත්තෙන් මැරෙන්නේ කියල හිතන්න එපා. ඔබේ මරණය සිදුකරන්නේ ඔබට අවශ්‍ය පරිදි ඔබේම සිතැඟි විසින්මයි. අපම නිර්ණය කරගත් කාල රාමුවක් තුල ජීවත් වී නෙක විධ වින්දනයන් ලබමින් ජීවත් වන අපට ඒ වින්දනයන් යලි යලිත් ලැබීම පිනිස පරිසරයක් සකස්කරගැනීමට මග පාදන්නේ මරණයයි. "තවත් නම් ඉන්න බැහැ" කියන සිතිවිල්ල තදින්ම ඇතිවූ විගස ඔබේ මරණය සිදුවෙනවා. එනම් ඔබ ඔබේ සිරුර හැර දමා යනවා. ඔබේ පැතුම ඉ‍ටුවෙනවා. ඔබ ආසාවෙන් විඳි අත්දැකීම් යලි යලිත් විඳගැනීමට ඔබට හැකිවෙනවා. ඒ කියන්නේ පැතුම් ඉ‍ටුවීමක් නොවේද?

            ශාරීරික ක්‍රියාකාරිත්වය අඩපන වු විගස මරණය සිදුවේ යන්න වෛද්‍ය විද්‍යත්මක මතයයි. නමුත් සත්‍යය වනුයේ ක්‍රියාකාරිත්වය අඩපන වූ සිරුරක පැවත්මට ඔබ නොකැමති වීමයි. ඔබ ආසාකල විඳීම් එලෙස තවදුරත් විඳිය නොහැකි තැන ඔබට නික්මීමට සිතේ. දියවැඩියා රෝගියෙකු දෙස බලන්න. ඔහුට තහනම් කල පැනිරස හොරෙන් හෝ කෑම ඔහුගේ සිරිතයි. තමන්ට අහිමිවන විඳීම කෙසේ හෝ ලබාගැනීමට සිතේ නොනිත් ආශාවක් ඇතිවනවා. මරණයත් ඒ වගේ. ශාරීරික ස්වභාවය අඩපන වීම ස්වභාවික ක්‍රියාවක්. එයයි යතාර්ථය. එයට නොකැමති වන ඔබට කෙසේ හෝ අහිමිවීයන විඳීම් අවස්තාවන් යලි යලිත් විඳීමට උවමනා වෙනවා. එයට ඇති මග මරණයයි. දරුණු අනතුරකින් සිරුර කෑබලි වී යන මොහොතක් සිතන්න ඔබ ඔබේ සිරුරට ආදරෙයි ඔබ අකමැතියි එය කැබලි වනවාට. එය කැබලිවීමෙන් ඔබට මෙතෙක් කලක් විඳි සියල්ල විඳගැනීමේ අවස්තාව අහිමි කෙරෙනවා. ඔබ හරි කැමැත්තෙන් මරණය තොරගන්නවා සම්පූර්ණ ශරීරයක් සහිතවම යලි යලිත් ඒවා විඳීමේ අරමුණින්. නමුත් එසේ හැරයන මොහොතේ යම් කණගාටුවක්, වේදනාවක්, පසුතැවීමක් ඇතිවීම භයානකයි. මොකද ඒ මොහොතේ ඔබේ විඳීම් ස්වභාවය එය වනවා. යලි උපත එයට අනුරූප වෙනවා. මරණය යනු එයයි. ඔබ ආසාවෙන්ම ලැබූ විදනයන් යලි යලිත් ලැබීමේ මග ඔබම විවර කරගන්නවා. යම් ලෙසක ඔබට කැබලිවී ගිය සිරුර හෝ ක්‍රමිකව වියපත්වන දුබල වන සිරුර යලිත් කවදා හෝ මෙවන් ධර්මතාවයකට යථාර්තයකට මුහුන දෙන බව දැක ඒ මොහොතේම ගැටීමක් නැතිවම එය හා එකඟ විය හැකිනම් ඒ මොහොතේම ඔබ මරණය ජයගන්නවා. (non judgement and non engagement with the situation).


         දැන් ඔබට සිතේවි අපාය සහ දිව්‍ය ලෝකය පිලිඹදව ඔබ අසා ඇති දෑ. මා සිතන ලෙස අපාය හෝ දිව්‍ය ලෝකය යනු යම් යම් විඳීම ස්වභාවයන්ය. ඔබ වඩාත් ආසාවෙන් වින්දනය කල දේ යලි යලිත් විඳීමට ඔබ මරණයෙන් පසු පරිසරය සකස් කරගනී. නැතහොත් එය විඳීමට සුදුසු පරිසරයක ඔබ පහල වනු ඇත. විශ්ව නීතියට අනුව ඔබ වපුරන දෙය ඔබට ලැබේ. එසේ වන්නේ ඔබ ඒ සමග ඒකාත්මික වී ඇති බැවිනි. ඔබේ විඳීම එයයි. හිංසාව රිදවීම වින්දනය කරන්නාට එම විඳීම් යලි යලි විඳීමට පරිසරය සකස්වනු ඇත. ඔහු තමන් තුලින්ම එය අත් විඳිනු ඇත. සතුට ආදරය වින්දනය කරන්නා එම වින්දනයන් යලි යලිත් විඳීමට මග පාදාගනු ඇත.

          ඒ අනුව අප ප්‍රාර්ථනා මාර්ගයක ගමන් ගන්නා මගියෝ වන්නෙමු . ඔබෙ ප්‍රාර්ථනා පොදියේ බර අඩුවූ තරමට ගමන  ඉක්මන් වනු ඇත. මරණය අරමුණ වෙත වූ අපේ ගමන ඉක්මන් කරයි. නමුත් මේ මොහොතේම උව මරණය ජය ගත හැකියයි මට සිතේ. ඒ සියයට සියයක්ම
තමාට සිදුවන සියළු දේ හා ඒකාත්මික වීමෙනි. 

අවශ්‍යයතාවයන් හා බලාපොරොත්තු සියල්ල මේ මොහොතේම අතහැරීමෙනි.
රැකීමට හා ඔප්පු කිරීමට කිසිවක් නොමැති වීමෙනි. 

පැවැත්ම අහෝසිවී යන්නේ එවිටයි. මේ මොහොතේ කෂනිකව ශරීරය විනාශවී ගියද ක්‍රමිකව වියපත්ව රෝගී වුවද කිසිම අකමැත්තක් බියක් වේදනාවක් හෝ විශේෂ හැඟීමක් නොමැතිව සිටිය හැකිනම්, එය පිළිගත හැකිනම් (be harmonize) මරණය ජයගත හැකි වේ. අහිමි වන විඳීමේ ස්වභාවයන් පිලිඹඳ ආසා වූ විගස ඒවා විඳගත හැකි පරිසරයක් ඔබට ලැබේ. කෙසේ නමුදු මරණය ඔබේ බලාපොරොත්තු ඉ‍ටු කරන බැවින් එයට කෙසේ වත් බිය විය යුතු නොවේ. එය ඔබේ බලාපොරොතු ඉටුවීමක්, ඔබට ආශිර්වාදයක් යැයි කීවේ එබැවිනි. 

Tuesday, October 1, 2013

අතීත සුවඳින් බිඳක්... | old paper advertisements-sri lanka

          "මේ කාලේ මෙහෙම නම් ඒ කාලේ කොහොමට තියෙන්න ඇත්ද.?"
නිතර ගොඩක් අයට හිතෙන වගේම කියවෙන දෙයක්නේ ඒ වචන පේලිය. එහෙම හිතෙන අයට වටින කියන චායාරුප ටිකක් අහම්බෙන් වගේ මට බලන්න ලැබුනා.
         අතීතාවලෝකනය හරිම සුන්දර හගීම් දනවන්නක්. අතීත සමාජ රටාවන් හරිම රසවත් විදිහට දැනෙන්නෙ අපට ඒ ජීවන සුවඳ යලියලිත් විඳ ගැනීමට පවතින ගුප්ත ආශ්වාදයක් නිසාද මන්දා. ඒ සුවඳ ඒ මිහිරියාව ඒ මතකයන් ගොඩක් වෙලාවට අපුරු ආශ්වාදයක් හිතට ගේනවා.
          බොහෝමයක් බ්ලොග් ලියන්නන් අතර අතීත අත්දැකීම් හරිම ලස්සනට ගෙත්තම් කරලා ලියන මම ආසම බොගක් තමයි අරුගේ අඩවිය කියන්නේ. අරුගේ අඩවිය ලියන අරූගෙ කතාව ඉතාම රසවත් වගේම අතීත සුවඳ හරි අපූරුවට තවරලා සුවඳගන්වලා තියෙනවා.

          කාලෙකට කලින් W3 Lanka හි පැරකුම් සහෝදරයත් පරණ බස් ගැන බොහෝම අපූරු රසවත් ලිපියක් පළකරලා තිබුනා. කාලයක් මතක හිටින විදිහේ ලිපියක් ඒක.

         ඒ වගේම උදේ පාන්දර සිරස Press Release වැඩසටහනෙත් පරණ පත්තරවල පලවුන ලිපි වෙලඳ දැන්වීම් එහෙම පෙන්වනවා හරි අපූරුවට. මමත් අහුවුනොත් අනිවාර්යයෙන්ම බලනවා උන්හිටිතැනම.
         අහම්බෙන් මෙන් ඊමේල්ලුවට ලැබුන මේ ඡායාරුප පෙල හරි අපූරු ආශ්වාදයක් ගෙනාවා. දැක්ක ගමන් මට හිතුනේ අන්ධ බින්දුවට ගොඩවදින අය එක්ක මේක බෙදාගන්න.

          මෙන්න එහෙනම් ඒ කාලේ ඇඩ් බලාගන්නකෝ දැන්කාලේ වගේද කියලා.

මාතලන්, අරූ අය්ලාෂ්  වගේ බ්ලොග්කරුවන් දැකලත් ඇති මේ දැන්වීම්.

  ****මේවා ගැන කතාකරන්න මතකයක් තියන අයට   මතකයන් බෙදාහදාගන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා.
ඒ නැතත් රසවින්දා නම් ඒ ඇති
...


පලි : මේ වගේ තවත් ඡයාරූප ඇතුලත් බ්ලොග් ලිපියක්. මෙතනින් ගිහින් බලන්න

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15








Thursday, September 26, 2013

කල යුත්තේ කුමක්ද?| What's to be Done

   සුපුරුදු පරිදි රජයට වැඩි වාසි ගෙන දෙමින් පලාත් සභා මතිවරනය අවසන් විය.
මේ පිලිඹඳව කිසිවක් නොලියන්නෙමැයි සිතා සිටියද පලාත් සභා සතු ඉඩම් හා
පොලිස් බලතල පිලිඹදව සිදු කෙරෙන කතිකාවන් හා ඊට අදාල නඩු තීන්දුවක් කරලියට පැමිණිය නිසා මෙය ලියා තබන්නට සිත්විය.


        
          සැබෑ ලෙසම දෙමළාට තිබෙන ප්‍රශ්නය කුමක්දැයි තවම සිංහලයාට වැටහී නොමැත. සිංහලයාට උවමනා කුමක්දැයි දෙමළාටද වගේ වගක් නැත. මැතිවරනයේ දී ජනතාව ඡන්දය භාවිතා කර තිබෙන ආකාරය අනුව ජාතිවාදය බේදයක් නොමැතිව ලාංකිකයා තුලින් ගම්‍යවීඇත. සිංහල බහුතරය විසින් සිංහල ජාතිවාදය පෝශනය කරන අතර දෙමළ බහුතරය විසින් නඩත්තු කරන මතය දෙමළ ජාතිවාදය බව මතුපිටින් පෙනේ. නමුත් එසේ සිතීමට අප ඉක්මන් විය යුතු නැත. බහුතරය බොහෝවිට මතයක් නොමැති සිල්ලර ආතල්බර දෙශපාලන ක්‍රමයක් විස්වාස කරන නිසාය. මෙ ක්‍රමය තුල බහුතරයකට මැතිවරනය යනු උඩ පැනගෙන කාකොටාගෙන හෝ අපේ විරුවා කතිර යුද්ධයෙන් ඔටුනු පැලඳවීමය.

       එය තුළ බහුතර මතයට එක්වීමට (හැමෝම කරන දේ කරන්න යාම) පවතින උනන්දුව මෙන්ම කවුරුන් හෝ සරණ ගොස් තමන්ද යමක් කරගැනීම, අසල්වැසියාට පාට් දැමීම, රස්සා ලබා ගැනී
ම, ටකරන් ලබාගැනීම, ආදී දහසකුත් එකක් බලාපොරොත්තුද තිබෙන්නට ඇත. මතිවරන අමුතු දෙයක් නොවන අතර අපුර්වත්වය වනුයේ එහි ප්‍රතිඵල වලින්
ගම්‍යවන පනිවිඩය තේරුම් ගැනීමයි.


ඡන්ද දායකයාගේ දෙශපාලන සවිඥානිකත්වය?


           දකුනේ ඡන්ද දායකයාට වඩා උතුරේ ඡන්ද දායකයා තමන්ගේ ගැටළුව පිලිඹද වඩාත් සංවේදී බවක් හා අවබෝධයකින් යුක්ත බවක් පෙන්නුම් කර ඇත. උතුරු පළාත් මහ ඇමති විග්නේශවරන් මහතා ඉන්දීය රූපවාහිනී මාධ්‍යයකට පවසා තිබුනේ මෙය පව්ලේ ප්‍රශ්නයක් බවත් එයට අසල්වැසියන් අත නොදැමියයුතු බවත්ය. සැබැවින්ම ද්‍රවිඩ බහුතරයකගේම මතය එය විය හැක ඔවුනට රට බෙදාවෙන්කර වෙනම ඊලාම් දේශයක් බිහිකර ගැනීමට අවශ්‍ය නැත. ඔවුන් තවමත් ස්වයං නිර්න අයිතිය පිලිඹඳව බලා පොරොත්තු දල්වා බලාසිටී. එසෙම සිංහලයන් තමන්ගේ පාරම්පරික සතුරන් ලෙස ඔවුන් කිසිදා නොසලකන අතර ඔවුන් අහිංසක ලෙස තම නිවහල් භාවය අයැඳ සිටී.
එය බහුතර කැමැත්ත නම් හිතුවක්කාර ලෙස අපට එය නොදී සිටිය නොහැක.

 කලයුත්තේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමයි.
ඔවුන් තව තවත් අන්තවාදයට හා ජාතිවාදය දෙසට තල්ලු නොකර බලය බෙදීමේ වැඩපිලිවෙලක් වහාම ඇරඹිය යුතුබව මතක තබාගත යුතුය. එක් රටක් තුළ සැමට පිළිගත හැකි
විසඳුමක අවශ්‍යතාවයක් පවතී. නැතහොත් දෙමළ ජනයා තව දුරටත් අන්තවාදී හා බෙදුම්වාදී මාවත මිස අන් මගක් තොරානොගනු ඇත.
එහි අනාගත කරුමය සිංහලයාටද අනිවාර්යයෙන් ගෙවීමට සිදුවනු ඇත ලොකයේ මෙවන් ප්‍රශ්න සහිත රටවලට ජාත්‍යන්තර මැදිහත්වීම් සිදුවූ ආකාර මෙහි උදාහරන ලෙස දැක්විය යුතු නොවේ. වර්තමාන ලෝක දෙශපාලන ප්‍රවනතාවය එයයි. හැකිතාක් ගැටුම් හැල හැප්පීම
අවම වන ආකාරයට මෙය විසඳාගත යුතු මට්ටමකට එලඹ තිබේ.

           දකුණේ (බහුතර සිංහල) ජනතාව සුපුරුදු පරිදි කානිවල් දේශපාලනයේ ආශ්වාදය රිසි සේ භුක්තිවිඳ ආතල් තීරනයක් ගෙන ඇති බව පැහැදිලිය. රාජපක්ශ දේශපාලනය
අමුම අමු දූශිත පාදඩ එකක් බැව් නොදන්නවුන් සිටිය හැකිබව සිතිය නොහැක. සිටින්නේ නම් ඒ ජාතික රූපවාහිනිය සහ නයිටීඑන් පමණක් පෙනෙන උන් විය
යුතුය. අනෙක් කරුණ නම් දේශපාලනය කිරීමට පක්ශයක් නිශ්චිත වැඩපිලිවෙලක් ප්‍රතිපත්තියක් අවශ්‍යය නැති බව හොඳින්ම පැහැදිලිවීමයි. ඒ ඒ මොහොතේ හොඳින්ම ලැබෙන ආතල් එක ජනතාවට යලි මැතිවරණයක් එනතුරු ප්‍රමාණවත්ය.

    චාර්ල්ස් ඩාවින්ට අනුව "නොනැසී ඉතිරිවන්නේ වඩා දුර්වලයා හෝ වඩා ශක්තිවන්තයා හෝ නොව වෙනස් වීම් වලට අනුගත විය හැකි
වුන් ය".
ඒ අර්ථයෙන් ජනතාවගේ හද  ගැහෙන රාවය හෙවත් ආතල් ෆුල් කලාබර සන්දර්ශනයක්  මවාදිය නොහැකිවු දේශපාලන පක්ශ කුජීත වී ඇත.පක්ශ මාරුකලද දයාසිරි ජනතාව අතර කොන් වී නොමැත ප්‍රභාකරන්ගේ මරණය ගැන පවා අනාවැකි කී සුමණදාස විශ්වකර්මයාද කුජීත වී ජනතාව දයාසිරි තොරගෙන ඇත. කවුරු කොහොම කුමක් කීවද දේශපාලන මතිමතාන්තර කුමක් වුවද පුද්ගල ප්‍රතිරූපයටද ජනතා මනාපයේ වැඩි ඉඩක් වෙන්ව පවතී.මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමාගේ සාර්ථකත්වයේ එක් පැතිකඩක් වන පුද්ගල පෞරුශය හා පෙනුම (කෙල්ලන් පවා වශීවන) මෙහි ඉතා
වදගත් බවද අමතක නොකල යුතුය. ඔවුන් නඩත්තුකරන සමාජ පෞරුශය කොතෙක්ද යත් විමල් වීරවංශ ජවිපෙ සිටි හොඳම පොර බවට අදද මතයක් පවතී. බොහෝ ඡන්ද මෙම සමාජ පොරවල්වලටද වැටෙන බව නොරහසකි. කෙසේනමදු සියල්ලට ඉහලින් රාජපක්ශ පව්ලේ ප්‍රියතමයා වී සිටීමද කාට කාටත් දෙශපාලනිකව වාසිදායකය.
 

         අනාගතය අනාගන්නට ඉඩ නොදී මෙරට තුල යහපාලනය සදාචාරය යුක්තිය ඉටුවීම දේශපාලන නිදහස ආදී
කරුණු කාරණා ඉටුකර ගැනීමට මෙරට ජනතාව තවත් බලා සිටිය යුතු නැත. ජනතාව අතර මතවාදී අරගලයක් කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පවතී.එය හුදෙක් සිංහල ජනතාව අතර පමණක් නොව ද්‍රවිඩ ජනතාව අතරද පැතිරීමේ අවශ්‍යතාවයක් පවතී. ප්‍රරගතශීලී දමිළයන් දිනාගතහැකි වැඩපිලිවෙළක්  අවශ්‍යමය.
ජාතිවාදී ව්‍යාපාර විසින් අගාධයට දක්කාගෙන යාමට ඉඩ නොදී සිංහල දෙමළ ජනයා අතර යහපත් දේශපාලන සවිඥානිකත්වයක් ඇතිකරලීමේ වගකීම මේ යුගයේ අප ඉදිරිපිට පවතී.

Friday, September 6, 2013

A/L ඉවරයි ඉතින් ?


මධුර ප්‍රභාෂ්වර
(චායාරුප ෆේස්බුකියෙනි )


       රසවිඳින්න කියල මෙලො දෙයක් නැති අතරෙ ජාතික රූපවහිනියේ මේ දවස්වල හරි
අපූරු කතාවක් යනවා. උසස් පෙළ ඉවර කරල තමන්ගෙ ජීවිතය හොයාගෙන යන තරුණ
තරුණියන් පිරිසක් ගැන. ඇත්තටම අවුරුදු 13 ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා නීති රාමුවක් ඇතුලේ කොටු ගහල ඉරි ගහල හදපු යව්වනයේ එලිපත්ත යන්තමින් පන්නපු තරුණ පිරිසක් සමාජ චරිත බවට පත්වෙන ඒ යුගය හැමොගෙම ජීවිත වල ලොකු
පෙරළියක් වන කාලයක්. කූඩුවක් අතුලේ හැදිච්ච පැටව්ටික නිදහසේ පියාඹල තම තමන්ගේ උරුම ජීවිතය හොයාගෙන යනවා.සමහරු කළු යයි සම්මතජීවිත සමහරු සාධු සම්මත ජීවිත ‍තෝරගන්නවා.ඇත්තටම චරිත කළුද සුදුද කියලා කාටවත් වෙන් කරන්න බැහැ. තියෙන්නේ තමන්ට ආවෙනික ගති ලක්ෂණයක් විතරයි. ඒවා කළු සුදු කියලා වර්ග කරල තියෙන්නේ සමාජය. උස් පහත් කියලා බෙදල තියෙන්නේත් සමාජය.


       දවසක් කෙල්ලෙක් මට හරි ලස්සන කතාවක් කිව්ව. "මේ ලොකේ හරියට පාට පෙට්ටියක් වගේ එක එක පාට එකට මුහුවුන චිත්‍රයක් වගේ. අපි අකමැතියි කියලා එක පාටක් හරි කිහිපයක් හරි අයින් කලොත් චිත්‍රය අසම්පූර්ණයි" . ඒ පුංචි වචන පේලිය අතර මුළු ජීවිතයම
හැංගිලා තියෙනවා. මම පෙර ලිපියකත් කිව්ව වගේ අපි විසින්ම නිර්මානය කරගන්න
සමාජ චරිතය අපටම වදයක් අභියෝගයක් වන්න පුළුවන් අප විසින් නිවැරදිව අපවම තේරුම්
නොගතහොත්. කොහොමත් මිනිස්සු මිනිස්සු අතර තියෙන බැඳීම් හරි සුන්දරයි පුදුමාකාරයි. හැම දෙයකම අපුරු රිද්මයක් රටාවක් තියෙනවා. ඒවයේ ආදරය මුහුවෙලා තියෙනවා කරුණාව දයාව උතුම් මානුශීය ගුනාංග මුහුවෙලාතියෙනවා වෛරය මුහුවෙලා තියෙනවා ආත්මාර්ථකාමීකම් නරුම ගති තියෙනවා. මේ හැම දෙයක් නිසාම ජීවිත චිත්‍රය ලස්සන වෙනවා.ඔන්න ඔය වගේ ලස්සනට ගලායන ජීවිත චිත්‍රයක් දිගහැරෙනවා ලක්මින අමරදේව අධ්‍යක්ෂණය කරන A/L ඉවරයි කියන කතාවේ. හමදාම ‍රැ 7.30ට. බොහෝ අය නරඹනවත් ඇති. විමසිල්ලේන් බලන්න සමහර විට ඔබට ඔබ හමුවෙවි අහම්බෙන් වගේ.

මොරබ්බා.... 


ලක්මින අමරදේව
(චායාරුප ෆේස්බුකියෙනි)




















Monday, September 2, 2013

පාප් වහන්සේ ගේ සිපගැනීමේ සදාචාරය නොහොත් අනෙකාගේ හෙළුව රස විඳීම

 
මෙම සිදුවීමට පාප්වහන්සේගේ කිසිදු සම්බන්ධයක් නොමැති නිසා
එතුමාගේ චායාරුපයක් ඇතුලත් නොකරන ලදී

     "පාප් වහන්සේ මුස්ලිම් කුමරියක සිපගනී" යනුවෙන් ලොමු ඩැහැගන්වෙන ඇඟ කිලිපොලා යන පුවතක් එක්තරා වෙබ් අඩවියක වාර්තාකර ඇත.මිනිසුන් හරි පුදුමාකාරය.පුදුමාතලන් වලටත් වඩා පුදුමාකාරය. ඔවුන් තමා ඇඳුම් හැඳ සිටිනා ගමන් අනෙකා හෙලුවෙන් සිටිනු දක්නට ප්‍රිය කරයි.අනෙකාගේ හෙලුව රසවිඳ ප්‍රමෝදයට පත්වනවා පමනක් නොව අනෙකා නිරුවත්කර හෙලුව රසවිඳීමටද බලා සිටී.බොහෝ බටහිර ක්‍රිස්තියානින්ට මෙහි ඇති ගැටළුව පාප් වහන්සේ සිපගත් තැනැත්තිය මුස්ලිම් වීමද  විය හැක.

          සමාජයට පරමාදර්ශයන් ඕනෑය. ඔවුන්ට කාට හෝ වැඳුම් පිදුම් කිරීමට ඕනාය. මග පෙන්වා දක්කාගෙන යාමට කෙනෙකු උවමනාය.පරිනාමයේ මුල් යුගයේ සිටම ගොත්‍රික ‍රැලට නායකයාට අමතරව මග පෙන්වීමට පූජකයෙකු උවමනා විය.ඔහු බොහෝ විට මන්ත්‍ර කරුවෙකු හෝ මුහුකුරාගිය  මහල්ලෙකු හෝ විය.නිශ්පාදනයේ ඒකාධිකාරය නායකයා සතු උවත් සමාජයේ අවනත බව කීකරු බව වැඩිපුරම පවතියේ මෙකී පූජකයන් සතුවය.පසුව ආගම් ලෙස සංවිධානය වු පසුද රජු විසින් ආගමද ආගම විසින් රජුද තම පැවැත්ම සඳහා එකිනෙකා සරණපාවාගන්නා ලදී.සැබැවින්ම මේ ලොකේ වැඩිපුරම මිනිස් ඝාතන ලේ වැගිරීම් සිදුව ඇත්තේ ආගමේ නාමයෙනි.අදද දේශපාලනයේ වැඩිපුරම විකිණිය හැකි සටන්පාඨය සිංහල බෞද්ධකම වී ඇත්තේ එබැවිනි.සරම ගහගෙන එන පන්සලේ පෙනීහිටින ඔනෑම පාහරයෙකු කවුන්සිලෙට යවන්නට අදපවා මහජනයා සූදානම්ය. මහජනතාව තමාට පරමාදර්ශ සපයන්නට පත් කරගත් මේ ගුරුකුල (ආගම්) තමාගේ අධිපතිත්වය මිනිසා අතර ව්‍යාප්ත කිරීමට නිරතුරු කැසකයි. ඒ සඳහා පත්කරගත් එජන්තයන්ගේ පැවත්ම එම ආගමේම මූලධර්මයන්ටම පටහැනි වීම ඇරඹූ විගස සියල්ල දෙදරා යයි.මෙය හරියට මහනකම පිලිඹඳ නිසි අවබෝධයක් නොමැති වයසක පසුවන දරුවන් මහන කර පසුව ඔවුන් ගේ පැවත්ම ගැන වද වෙනවා හා සමාන ක්‍රියාවකි.පැවිදිවරයට වඩාත් බරපතල  හානි සිදුවනුයේ මෙසේ අනවබෝධයෙන් ඒවාට යොමුවන්නවුන් නිසාය.


          සිපගැනීම යනු චාරිත්‍රයකි ආචාර විධික්‍රමයකි. එය මිනිසා අතර සෙනෙහස ආදරය හුවමාරු කර ගැනීමට සඳහා වූ අපුර්ව චර්යාවකි ක්‍රියාකාරකමකි. එය සෙනහසින් යුතුව විඳ ගැනීමට නොහැකිවීම කුහක කම මිස අන් කිසිවක් නොවේ.මුලින් කී පරිදි තමාහට පරමාදර්ශ සැපයීමට තොරාපත්කරගත් අධ්‍යාත්මික නායකයින් ගේ පැවැත්ම වඩාත් අවශ්‍යය ඇතුලතින් ජරාජීර්න කුණු ගඳ ගහනවුන්ටය.සැබෑ ආගමද සැබෑ දෙවොලද සැබෑ විමුක්තියද ඇත්තේ තමා තුලය තම පැවැත්ම තුලය. තමා තුල නොමැති  පාරිශුද්ධත්වය අනෙකාගේ සොයන්නේ තමාතුල ඇති හිස් තැන වසාගැනීමටය.හිතයටින් සාරව සුනිල්ලාවීමට නොහැකි වීම නිසා ඔහුට වෛරකර පලක් නැත. තමා වසාසිටින හෙළුව අනෙකාගේ දුටු කල එය ආතල් එකක් වන්නේ එබවිනි.සිපගැනීම මහා අපරාධයක් වූ ලොව මිනීමරුම් ලේවැගිරීම් ආශිර්වාදයක් වන්නේ එබවිනි.

Thursday, August 29, 2013

සියවසේ කථාව


           1940 දී රූගත කළ "The Great Dictator" නම් ප්‍රහසනාත්මක නාට්‍යය නරඹා තිබෙනවාද? එතෙක් වේදිකාවේ නිහඩ චරිතයක් වූ චාලි චැප්ලින් නම් අසහාය රංගධරයා නිර්මාණවේදියා ප්‍රථම වරට වේදිකාව තුල තම හඬ අවධිකලේ මෙම "The Great Dictator" නම් නාට්‍යයෙන්.මෙහි තිර රචනය අධ්‍යක්ෂනය නිශ්පාදනය ඔහු සතුයි.එම වකවානුවේ අමෙරිකා එක්සත් ජනපදය මතුපිටින් ජර්මනිය සමග සාමයෙන් කටයුතු කල යුගයක්.හිට්ලර් මුසොලිනී වගේ අන්තවාදී ඒකාධිපතියන් ඉතා තදින් විවෙචනය කර නිර්මාණය කරන ලද මෙම නාටකයේ එන කථාව ලොවපුරා තවමත් ඇස් පනාපිට පවතින්නක්.
වේදිකාවේ නිහඬවම සිටි මේ මිනිසා හඬ අවදිකල පලමු නිර්මාණයෙන්ම දුන් පනිවිඩය කොතරම් ප්‍රභලද? මේ යුගයෙදීත් එය කොතරම් වලංගුද? පහතින් එම හඬ අසන්න ඔබට කුමක් හෝ දැනේවි.මෙය මේ සියවසේ හොඳම කතාව බව අවිවාදිතයි.නිසකවම මේ පනිවිඩය ඔබට දැනේවි.


ඒ කරලා ආයේ "හාමුදුරුවනේ මම එකාධිපතියෙක්ද?" කියල අහන්න එපා ඔං...

(පහතින් මා විසින් එය සිංහලට පරිවර්තනය කලා සියයට සියයක් එලෙසම නොවුවත් අපේ උරුවට ගැලපෙන වෙනස්කම් සහිතව.)









          I’m sorry, but I don’t want to be an emperor. That’s not my business. I don’t want to rule or conquer anyone. I should like to help everyone - if possible - Jew, Gentile - black man - white. We all want to help one another. Human beings are like that. We want to live by each other’s happiness - not by each other’s misery. We don’t want to hate and despise one another. In this world there is room for everyone. And the good earth is rich and can provide for everyone. The way of life can be free and beautiful, but we have lost the way.

          Greed has poisoned men’s souls, has barricaded the world with hate, has goose-stepped us into misery and bloodshed. We have developed speed, but we have shut ourselves in. Machinery that gives abundance has left us in want. Our knowledge has made us cynical. Our cleverness, hard and unkind. We think too much and feel too little. More than machinery we need humanity. More than cleverness we need kindness and gentleness. Without these qualities, life will be violent and all will be lost....

          The aeroplane and the radio have brought us closer together. The very nature of these inventions cries out for the goodness in men - cries out for universal brotherhood - for the unity of us all. Even now my voice is reaching millions throughout the world - millions of despairing men, women, and little children - victims of a system that makes men torture and imprison innocent people. To those who can hear me, I say - do not despair. The misery that is now upon us is but the passing of greed - the bitterness of men who fear the way of human progress. The hate of men will pass, and dictators die, and the power they took from the people will return to the people. And so long as men die, liberty will never perish. .....


          Soldiers! don’t give yourselves to brutes - men who despise you - enslave you - who regiment your lives - tell you what to do - what to think and what to feel! Who drill you - diet you - treat you like cattle, use you as cannon fodder. Don’t give yourselves to these unnatural men - machine men with machine minds and machine hearts! You are not machines! You are not cattle! You are men! You have the love of humanity in your hearts! You don’t hate! Only the unloved hate - the unloved and the unnatural! Soldiers! Don’t fight for slavery! Fight for liberty!



         In the 17th Chapter of St Luke it is written: “the Kingdom of God is within man” - not one man nor a group of men, but in all men! In you! You, the people have the power - the power to create machines. The power to create happiness! You, the people, have the power to make this life free and beautiful, to make this life a wonderful adventure. Then - in the name of democracy - let us use that power - let us all unite. Let us fight for a new world - a decent world that will give men a chance to work - that will give youth a future and old age a security. By the promise of these things, brutes have risen to power. But they lie! They do not fulfill that promise. They never will! Dictators free themselves but they enslave the people! Now let us fight to fulfill that promise!


          Let us fight to free the world - to do away with national barriers - to do away with greed, with hate and intolerance. Let us fight for a world of reason, a world where science and progress will lead to all men’s happiness. Soldiers! in the name of democracy, let us all unite!



           කණගාටුයි මිත්‍රවරුනි. මා හට අධිරාජ්‍යයෙකු වීමට උවමනා නැත.එය මා හට අදාල වූවක් නොවේ. මා හට කිසිවෙකු පාලනය කිරීමට හෝ යටපත් කොට පා ගාගෙන සිටීමට උවමනා නැත.හැකි සෑම විටම භේදයකින් තොරව ඔබ සියල්ලන් හට උදව් කිරීමයි මාගේ කාර්ය්‍යය. කළු සුදු ආගමික අන්‍යාගමික ස්වජාතික අන්‍යජාතික භේදයකින් තොරව එකිනෙකා හා සහජීවනයෙන් යුතුව එකම මනුෂ්‍ය ජාතියක් ලෙස ජීවත් වීමයි අප කළ යුත්තේ. අප එකිනෙකාගේ සතුට උදෙසා මිස අනෙකාගේ දුක්ඛිත විනාශයන් මතින් ජීවත් වීමට සිතිය යුතු නොවේ.අප එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් හා ගර්හාවෙන් යුතුව සැලකීම නොවේ කළ යුත්තේ.මේ සුන්දර මිහිතලය අප සියල්ලන්ටම රිසි සේ භුක්ති විඳිය හැකි තරම් සම්පත් වලින් අනූනය.ඇය සියල්ලන්ටම එක සේ පෝෂනය හා ‍රැකවරණය සදන්නීය. අපගේ ජීවිත වඩා නිදහස් හා සුන්දර කළ හැකි එම මාවත අප විසින් අවුරා ගෙන ඇත.

             අසීමිත තණ්හාව හා ගිජුකම මිනිසාගේ ආත්මය වනසා වෛරයේ සිරකුටි තුල ගාල් කොට ඇත. මිලිටරි ආධිපත්‍යය ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ලේ වැගිරුන පියවර සන්දර්ශනාත්මකව (තාරා වකු සේ) තබමින් අප කරා එලඹ ඇත.අප වේගය (කාර්යක්ෂමතාව)පසුපස දිවගොස් අපවම එය තුල ගාල්කර සිරකරගෙන ඇත.මෙම කාර්මික යුගයේ මහාපරිමාන යන්ත්‍ර සුත්‍ර මගින් බහුල ලෙස නිශ්පාදන කලත් තවදුරටත් අසීමිත අවශ්‍යතාවයන් තුල අප අතහැර දමා ගොස් ඇත.අපගේ දැනුම විසින්ම අප කුසීතයන් අලසයන් බවට පත් කර ඇත.අපගේ දක්ශතාවයන් විසින් අප කුරිරු හීත්පිත් නැතියවුන් බවට පත් කර ඇත. හැඟීම් විරහිතව මහමෙරක් තරම් සිතන්නෙමු. එහෙත් අප හදවතින් නොදකින්නේය. දක්ශතාවයන්ටත් වඩා සැබැවින්ම වටින්නේ දයාවයි සංවේදීබවයි ත්‍යාගශීලීත්වයයි.අන් කවර දාකටත් වඩා මේ යුගයේ අපට උවමනා මෙයයි.


          සන්නිවේදන හා ප්‍රවාහන මාධ්‍ය අන් කවරදාකටත් වඩා මිනිසුන් එකිනෙකා වෙත බැඳ තබා ඇත. මිනිසුන් එකිනෙකාවෙත වඩ වඩා ලං කර ඇත. සැබැවින්ම මෙවා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සහෝදරත්වය හා සංහිඳියාව වෙනුවෙන් විය යුතුය.සමගියේ සහෝදරත්වයේ දයාවේ හඬ බවට පත්විය යුතුය.මේ මොහොතේ පවා මගේ හඬ මිලියන ගනනක් වු මිනිසුන් ගැහැනුන් ළමයින් වෙත ලඟාවනවා ඇත.ක්‍රමය විසින් පීඩාවට පත් කර තලාපෙලා වධ කඳවුරු තුලට ගාල්කර සිටින බලාපොරොත්තු විරහිත මිනිසුන් වෙත සැනසීමක් ගෙන දෙනවා ඇත. මේ මොහොතේ මාහට අහුම්කන් දෙන මිනිසුනි කිසිදා අධෛර්යට පත් වන්න එපා බලාපොරොත්තු නැතිකරගන්න එපා.අප වෙලාගෙන පවතින මේ කනගාටුදායක මොහොත කැදර කමේ කූටප්‍රාප්තියයි. එහි අවසානයයි.අවසන් මොහොතේ රංගනයයි.ඔවුන්ගේ කලකිරීමට හේතුව ඔවුන්ගේ බියට හේතුව මිනිසුන්ගේ පිබිදීමයි.මේ යුගය ඉක්මනින් නිමා වනවා ඇත.ඒකාධිපතියන් විනාශ වනවා ඇත.මිනිසුන්ගෙන් උදුරාගත් බලය ඔවුනට අහිමි කල නිදහස යලිත් ඔවුන් අතට ලැබෙනවා ඇත.මිනිසුන් එකා පිට එකා මියදුනත් විමුක්තිය කිසිදා මිය යන්නේ නැත.


          සෙබලුනි කිසිදා මේ කුරිරු නායකයන්ට අවනත වන්න එපා.ඔබට අවමන් කොට පාගා දමා වහලුන්සේ කඳවුරු තුලට ගාල්කර ඔබට අන දෙන දඩ බල්ලන්සේ ඔබව පුරුදු පුහුනු කරන බැටළුවන් සේ ඔබව දක්කන යාන්ත්‍රික හදවත් ඇති යාන්ත්‍රික මනසක් ඇති විකෘති මනසක් ඇති හිත්පිත් නැති ලෙස ඔබේ ජීවිත උන්ඩයට බිලිදෙන බෝම්බ වලට කාලතුවක්කු වලට ඔබ බිලි දෙන මේ හිත්පිත් නැති අමනයන්ට අවනත වන්න එපා. ඔබට සිතිය යුත්තේ කෙසේද කළ යුත්තේ මොනවාද ආදී ලෙස ඔබව දක්කන මේ දුශ්ට පාපතරයන්ට අවනත වන්න එපා.ඔබ යන්ත්‍රයක් නොවේ ඔබ බටළුවෙක් නොවේ ඔබ මනුෂ්‍යයයෙක් ඔබට හදවතේ මිනිස් හඟීම් තිබෙනවා සංවේදනයන් තිබෙනවා. ඔබගේ හදවතේ ආදරය මානවදයාව තිබෙනවා.ඔබ වෛර කරන්නෙකු නොවේ.කිසිදා ආදරය නොලද ආදරය නොවිඳි විකෘති මිනිසුන් පමණි කුරිරු වෛරීසහගත වන්නේ.ඔබ අනෙකා යටත්කොට තලාපෙලා පාගාදමන්නට සටන් කරන්න එපා. අනෙකාගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරනු.


          ශුද්ධ වූ බයිබලයේ ශාන්ත ලූක්තුමා ගේ අනුශාසනයේ 17 වන පරිච්චේදයේ සඳහන්ව තිබෙනවා "ස්වර්ග රාජ්‍යය සැබැවින්ම පවතිනුයේ මිනිසා තුලයි." කියා.සබැවින්ම එහි සඳහන් වනුයේ එක් මිනිසෙක් හෝ මිනිසුන් සමූහයක් හෝ නොවේ සෑම මිනිසෙකු තුලම යන්නය.ඔබටද එය ඒසේමයි.බලය හැකියාව සැබැවින්ම ඇත්තේ ඔබ තුලයි.මහා නිමැවුම් කිරීමේ හැකියාව ඇත්තේද ඔබ තුලය එසේම ඔබගේ ජීවිතයේ සතුට නිදහස නිර්මාණය කිරීමේ ද වඩා සුන්දර කිරීමේ හැකියාවද ඔබ සතුයි.ඔබ ලැබූ මේ ජීවිතය වඩා සුන්දර චාරිකාවක් ලෙස නිමාකිරීමේ හැකියාවද ඇත්තේ නුඹලා තුලයි. මිනිසුනේ නුඹලා සතු බලය වටහාගනිව්.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අප සතු බලය යොදවමු.අප සියලු දෙනා එක්සත්ව එක්සිත්ව නැගී සිටිමු.වඩා සාධාරන නව ලොවක් වෙනුවෙන් නැගීසිටිමු.මිනිසුන්ට නිදහසේ වැඩකරන්නට ඉඩ දෙන තරුණයිනට අනාගතයකුත් වැඩිහිටියනට ‍රැකවරණයකුත් ලැබෙන වඩා සාධාරන ලොවක් වෙනුවෙන් එක්ව නැගී සිටිමු.


          මෙලෙසම පොරොන්දු දී තමා මේ අමනයින් බලයට ආවෙත්. නමුත් ඔවුන් අප රවටා තිබෙනවා.ඔවුන් කිසිදා එය ඉටු කලේ නැහැ කිසිදා කරන්නේද නැහැ. එය පැහැදිලියි. මිනීමරු ආඥාදායකයින් සියල්ල නිදහසේ භුක්ති විඳිනගමන් මහජනයා වහල්බවට පමුනවා තිබෙනවා.සියල්ල සූරාකමින් අයුක්තිය රජ කරවමින් යන මේ ගමනට එරෙහිව වඩා සාධාරන ලොවක් ගොඩනගන්නට අප වූ පොරොන්දුව යථාර්තයක් කරන්නට එක්ව නැගී සිටිමු. ජාතික ආගමික වාර්ගික බැමි බිඳහෙලා අසහනය වෛරය පලිගැනීම දුරලා වඩා සාධාරන ලොවක් වෙනුවෙන් නැගී සිටිමු. 
දැනුම හා සාර්ථකත්වයන් මිනිස්වර්ගයාගේම යහපත හා සතුට වෙනුවෙන් යෙදවෙන වඩා සාධාරන නව ලොවක් වෙනුවෙන් සටන් කරමු. සෙබළුනි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යුක්තියේ සධාරනත්වයේ නාමයෙන් එක්ව සටන් වදිව්. 






ප.ලි .

*The Great Dictator සම්පුර්ණ නාටකය බලන්න කැමති උදවිය මෙතනින් ගිහින් බලන්න.
**මේකත් එක්කම අතුරුපසක් වගේ රසවිඳින්න පුළුවන් ගීතයක් තිබෙනවා බීට්ලස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන් ගයනා කරන ඉමැජින් කියන ගීතය (මෙතනින් බලන්න)මේක ඇත්තටම මමත් ගොඩක් ආදරය කරන මගෙත් සිහිනයක්. සමහරුන් මෙය අසා තිබෙනවත් ඇති. මුළින් ආපු අයට මගහැරුනට කණගාටුයි. මේකත් එක්ක ලිපිය සම්පුර්ණයි ඔං...







Sunday, August 4, 2013

රතු පසේ ලේ නැතේ....

















රතු ලේ ගලා ලා
රතු පසේ තැවරිලා
පසත් රතු හින්දා
කා හටත් නොපෙනිලා.......

මූසල නිහඬ බව
වේදනයි මේ හිතට
කිසිත් සිදු නොවූ ලෙස
ඉඳින්නේ කෝම........

තිරිසනුන් රජ කරන
පාදඩ රාජ්ජේ 
අගරජු පියානේ 
ලේ බියන් මාගේ........





when exposing a crime is treated as committing a crime,
you are ruled by criminals -Anonymous

Monday, July 8, 2013

නමය මාගේ ඝාතකයා

          සියදිවි නසාගැනීම් බොහොවිට අප අත්දැක තිබෙනවා.මෙවන් ඛේදනීය සිදුවීම් පසුපස බොහෝවිට දුක්බර කතාවක් හැංගිලා තියෙනවා කියල තමා අපට ඇහෙන්නේ.අර සුවර්ණ වර්ණ නාලිකාවේ පෙන්වන්නේ රස කර කර.නමුත් බොහෝමයක් කතාවල ඇත්තටම තියෙන්නේ තමන් වටේ පවතින සමාජය හෝ ගතකරන සමාජ ජීවිතය විසින් මරණ දඩුවමට ලක් කරපු මිනිසුන්.ගොඩක් අය හිතන් ඉන්නේ තම ගතකරන සමාජ ජීවිතය තමන්ගේ ඇත්ත ජීවිතය කියල.නමුත් බහුතරයකගේ සැබෑ ජීවිතය හා සමාජ ජීවිතය දෙකක්.ගොඩක් වෙලාවට බිව්වමත් එලියට එන්නේ ඇතුලේ හංගගෙන හිටපු ඇත්ත සතා තමා.
මිනිසා අඩක් සතෙකි අඩක් දෙවියෙකි  කියල තියෙන්නේ විටෙක සමාජ සම්මත සාධු චරිත හා එවා අතුලේ හංගගෙන ඉන්න වනචාරී චරිත අතර ගැ‍ටුම තමා.ඉපදුන ගමන් දාහක් සංකල්ප ඔලුගෙඩි තුලට ඔබ්බල ඔබ්බල පාසල් වලට යවන ලමයින් ඊට පස්සෙත් විශ්ව විද්‍යාල දක්වාම කොරන්නේ ඔලු ගෙඩි අතුලේ ඒක දරාගෙන ඉන්න එකාගේ සමාජ චරිතේ programme කරන එක තමා.නමුත් ගොඩක් වෙලාවට සමාජ චරිතේ හා සැබෑ චරිතේ අතර මේ ගැ‍ටුමට මුහුන දෙන්න 
සිද්ධවෙන එක තමා කුනා‍ටුවේ ඇරඹුම.ඔය ගැ‍ටුමට මූන දි දී ඉන්න අතරෙම ඕක මහ වදයක් පීඩනයක් වෙන තැනකට පත් වෙනවා අන්න එතකොට තමා සියදිවි නසාගන්න මනුස්සයා පෙලඹෙන්නේ.

        මේ කතාව මට මතක් උනේ මීට වසර 2 කට පමන පෙර දුම්රියට පැනල ජීවිතේ නැතිකරගත්ත සහෝදර ශිෂ්‍යයෙකු ගේ මතකයක් නිසා.ඔහු ඇත්තටම බොහෝ විභාග ඉහලින් සමත්
වුන ශිෂ්‍යයෙක්.නමුත් කල් යත්ම ඔහුගේ මේ දක්ශතාවය සමහර කණ්ඩායම් තමන්ගේ වාසියට යොදාගන්නවා.ඔහු ICON එකක් character එකක් කරගන්නවා.ඒ character  එක අතුලේ වාසි ගන්න ගොඩක් වෙළෙන්දෝ තැරව්කරුවෝ එකතුවුනා. අන්තිමට ඔහුත් තමන් වටේ හදපු චරිතය නඩත්තු කරන්න පටන් ගත්තා.අවසන් ප්‍රතිඵලයවුනේ තමන්ගෙම චරිතේ ඇතුලේ අතරමන් වුන ඔහු දුම්රිය එන දිහා බලාගෙනම පීල්ලට බෙල්ල තියාගෙන ඉන්නඑක.ඒ විදිහට මනුස්සයෙක්ට අත් වෙන්න පුලුවන් කුරිරුතම මරණයක් උරුම කරගන්නවා.පසුව හෙළිවුන විදිහට ඔහු සමහර විශයයන්හි විභාග වලින් අසමත්.සැබැවින්ම සමහර විශයයන් අසමත් වී නැවත විභාගයට මුහුන දෙන එක ( subject repeat වීම)කාටත් උරුම දෙයක්.සියලු විභාග එකවර සමත් වූ සිසුන් බොහෝ අල්පයී.නමුත් ඊලග වාරයේ විභාගයට මුහුනදී සමත් වීම වෙනුවට ඔහු මරණය ‍තෝරා ගන්නවා.සැබැවින්ම ඔහු විසින් නඩත්තු කල සමාජ චරිතය ඔහුව මරාදමනවා.ඇත්තටම එ මිනිමැරුමක්.වඩාත්ම හිනායන කතාව තමා ඔහුගේ ප්‍රතිරූපය පෝශනය කලවුන් අනියමින් වාසිගත්තවුන් ඔහුගේ මරනයේ සැබෑ හේතුව අදටද සඟවාගෙන සිටීම.නමට හොඳ නැහැලු උගේ විතරක් නම් කමක් නෑ අයතනයේත් අපි හැමෝගෙමත් නමට හොඳ නැහැල්ලු.ඒකලු සියදිවි නසාගැනීම වෙනුවට මරණයට හේතුව විදිහට හදිසි අණතුරක් කියලා මරණ සහතිකෙත්  ලියෝගත්තේ.

නමුත් උගේ 
මරණයට හෙතුවත් ඔය කියන නමම තමා.....  


Friday, June 21, 2013

ඉකාරස් ගේ පාඩම (paradigm of Icarus)

         ඔන්න මම කතාවක් අනුසාරයෙන් ලියන මුල්ම ලිපිය ලියනවා.හැමෝම කතන්දර ලිව්වම ඒකේ ගතියකුත් නැහැ නොවැ. මොනව උනත් මේකට කතාවක් සම්බන්ධ නිසා නොලියම බැහැ.මේක අපේ විස්ස විජ්ජාලේ ඉංජීනේරු  දර්ශනය සම්බන්ධ පාඩම් මාලවකදි ඉගෙන ගත්ත කතාවක්. ඒ නැතත් ඉතිහාසය සාහිත්‍ය වගෙ විෂය ගැන දන්න කියන උදවිය මෙ කතාව අහලත් ඇති.මෙකයි ඔය කියන කතාව. 



    ග්‍රීසියේ එක්තරා කාලෙක හිටියලු තාත්තෙකුයි පුතෙකුයි. පුත්‍රයගේ නම තමයි ඉකාරස් (Icarus
) තාත්තා ඩේඩ්ලස්
(Daedalus) මුන් දෙන්න නම් දාරාපු අණ්ඩ පාළුවො දෙන්නෙක් තාත්තට හපන්
පුතයි පුතාට දෙවෙනි නැති තාත්තයි. මුන්ගේ ජඩකම් ඉවසගන්න බැරුව මුන් දෙන්නා දූපතක තිබුණ හිරගෙයක හිර කරල තිබුණේ (අර “Death race” film එකේ වගේ). ඒක මුහුද මැද්දේ තිබුණ බොහොම සුන්දර දිවයිනක්. තත්තා ඩේඩ්ලස් හා පුතා ඉකාරස් ඔහොම ඉන්නකොට මුන් දෙන්නට පැනල යන්න උපක්‍රමයක් කල්පනා උනාලු. මේ අදහස ආවේ තාත්තට ඔහු තමයි වැඩ්ඩා. මෙයාල දෙන්නා දූපතට වැටෙන කුරුලු පිහාටු එකතු කරගෙන ඉටි වලින් අලවලා හැදුවලු අත්තටු යුගල දෙකක්
(රයිට් සහෝදරයන්ට කලින් ගගන තාක්ෂණය සොයාගත්තේ මුන් දෙන්නද මන්දා).ඉතින් වැඩේ නිම කොරල සුදුසු දින වකවානුවක් බලලා හොර රහසේම දෙන්නා නැග්ගලු
හිරගෙදර තාප්පෙට. නැගලා අර අත්තටු දෙක පළඳගෙන පැන්නලු තාප්පෙන්.

 
ඊට පස්සේ සට සට ගහලා අත්තටු ගහලා පියාඹල යන්න පටන් ගත්තාලු. කිසිම අතුරු ආන්තරාවක් නැතුවම කිරි ගහට ඇන්නා වගේ වැඩේ හරි ගියාලු.හිතාගන්න පුළුවන් නේද
පියාඹනකොට හිතට දැනෙන හැගීම. හරියට කුරුල්ලෝ දෙන්නෙක් වගේ සුළං පහර කපාගෙන ඉදිරියටම පියාඹගෙන යනවා මේ තාත්තයි පුතයි. ටිකක් වෙලා පියාඹගෙන යනකොට පුතාට මේ ආතල් එක හොඳටම හිතට දැනුණලු.උන්දැ මොකද කොලේ තව තවත් උඩටම පියාඹන්න පටන් ගත්තා. තාත්තාට මේ වැඩේ එච්චර ඇල්ලුවේ නැහැ. ඔහු පුතාට අවවාද කළා වැඩිදුර ඉහළට පියාඹන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට ගොඩබිමකට පය ගහගමු කියලා. ඒත් පුතාට ඒක ඒ වෙලාවේ තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.ඔහු උද්දාමයේ උපරිමයට එළඹිලයි හිටියේ ඔහු තව තවත් ඉහළටම පියාඹන්න පටන් ගත්තා. තාත්තත් පුත්‍ර ස්නේහයයි ආතල් ගැනීමයි පැත්තක තියලා තමුන්ගේ ගමනාන්තය කරා යන්න පටන් ගත්තා. ඉකාරස් ඉහළටම යද්දි හිරු රැස් වැදිලා අර පිහාටු අලවලා තිබුණ ඉටි උණුවෙලා පිහාටු එකිනෙක ගැලවිලා ගිහින් පහළට
වැටිලා මැරුණා.තාත්තා කිසි කරදරයක් නැතුවම තමුන්ගේ ගමනාන්තය වුණ ගොඩබිමක් වෙත පය ගැහුවා. ඔන්න ඔහොමලු ඒ කතාව ඉවර උනේ. 


      දැන් ඉතින් පූර්වාපර සන්ධි ගලපන්නයි යන්නේ. ගොඩක් අයට වෙන ඛේදවාචකයක් ඔය කතාව අතුළේ සැඟවිලා
තියෙනවා. ඒ කියන්නේ යම් අරමුණක් කරා යන ගමනක් පටන් ගත් පසු ඒ ගමන අතරතුර
ගමනේ යෙදීම පිළිබඳ තෘප්තිමත්වී මුල් අරමුණ අමතක කර දැමීම හෝ අමතක වී
යාම
.මෑත යුගයේ ලංකාවේ සිදුවු සමහර සිද්ධිත් ඔය වගේ මුලාවීම් සහ මුළාකිරීම් ගණයට දාන්න පුළුවන්. 



1). රජයේ වැඩ පිළිවෙළ
           "සංවර්ධනය තුළින් ආසියාවේ ආයිෂ්වර්‍යය කරා" යයි හඳුන්වා ගන්නා ලද නිශ්චිත සැලසුම්ගත මහින්ද චින්තනය නම් වැඩපිළිවෙළක් රජයට ඇතත් එය හුදෙක් ලියවිල්ලට හා කියවිල්ලට පමණක්  සීමාවී ඇත. එය මැතිවරණය වෙනුවෙන් කුමක් හෝ ප්‍රකාශනයක් ඉදිරිපත් කල යුතු නිසා ඉදිරිපත් කල ආකර්ශනීය ලියවිල්ලක් මිස ප්‍රායෝගික වැඩපිලිවෙලක් නොවේ.ඒ බව රජයේ ක්‍රියාකාරකම් තුළින්ම පැහැදිලිවී ඇත. සැබෑ ලෙසම මා පෙර ලිපියකත් දැක්වූ ලෙසම සංවර්ධනය යනු රටක මිනිසුන්ගේ ජීවනතත්වය උසස් කිරීම පිණිස ගෙනයායුතු ක්‍රමික වැඩ පිළිවෙළක් මිස සංවර්ධනය වීම පිණිස ජරාජීර්ණ ලෙස දුක් විඳින තත්වයට මිනිසුන් පත්කළ යුතු නොවේ. මහාපරිමාණ වරායවල් ගුවන් තොටුපළවල් ආදී යටිතල පහසුකම් පැවතිය යුතු වුවද ඊට සමගාමීව මිනිසුන්ගේ අවශ්‍යතා ඉස්මතුවී තිබිය යුතුය.වරායවල් තැනීමට පෙර ඒවායින් ආනයන අපනයන කිරීමට නිෂ්පාදනයක් රට තුළ පැවතිය යුතුය.පැය 24 ම පාරේ බස් ධාවනය කරවීමට පෙර එවායේ යාමට මිනිසුන් සිටීය යුතුය.රාත්‍රී 6.00 වන විට නිවසටවී දොරවල් වසාගන්නා මිනිසුන්ට රාත්‍රී බස් කුමටද? ඔනාම ප්‍රභල රාජ්‍යක පදනම එහි නිෂ්පාදනයයි.එය කෘෂිකාර්මික හෝ කාර්මික හෝ විය හැක.අපව ලෝකයා හඳුනාගන්නේ කෙලෙසද ලෝකයට අප දායාද කරන්නේ කුමක්ද යන්න සිතාබැලිය යුතුය.තේ ටික රෙදි ටික ක්‍රිකට් කණ්ඩායම හරුණු කොට ලෝකය අපව අඳුනාගන්නේ වැඩකාර ගැහැනුන් ලේ වැගිරීම් මානව හිමිකම් සුනාමි
ආපදාව ආදී මාතෘකා යටතේ පමණි. 

සංවර්ධනය යනු මාර්ගයකි ක්‍රමවේදයකි ක්‍රියාපටිපාටියකි එය ඉලක්කයක් නොවේ ඉලක්කය විය යුත්තේ උසස් ජීවන තත්වයක්උරුම කර ගැනීම්යි. 
ඉකාරස් ගේ කතාවේදී මෙන් උසස් ජීවන තත්වයක් කරා යන ගමනේදී එය අමතක වී අතරමැද ඉලක්කම් දර්ශක නිර්ණායක හඹාගොස් පහළ ජීවන තත්වයකට මිනිසුන් ඇද දැමීම වෙනුවට බුද්ධිමත් ඉදිරි දැක්මකින් යුතු වැඩ පිළිවෙළක් වහ වහා ආරම්භ කල යුතුය.

2.) පැවිද්දන් හා සමාජ ක්‍රියාකාරිකයන්.
 
          මේකත් ඒ ගොඩටම දාන්න පුළුවන් කතාවක්.
පැවිදිබව නිසා සමාජයෙන් උරුම වන ගෞරවය පිළිගනීම නිසා ප්‍රමෝදට පත්වී මුල් අරමුණ අමතකවී තටු සිඳී බිමට වටුන පැවිද්දන් වර්තමානයේ ඔනා තරම් දැක ගත හැක.පැවිදි වරයේ ඇති වරප්‍රසාද පිළිගැනීම යොදාගෙන සමාජ වගකීමක් කරනවායයි සිතා ඔවුන් කරන ක්‍රියාකාරකම් මගින් ඔවුන්ගේ පූජනීයත්වයම කෙලෙසා ගන්නවා පමණක් නොව අන් සියල්ල්න්මත්
පොදුවේ මිනිස් පරපුරක්මත් අවමානයට හා පරිහානියට ඇද දමයි.වැඩි විස්තර මාතලන් කියල තියෙනවා  ලුණු ඇඹුල් ඇතිවම.


3.)අධ්‍යාපනය
 

          අධ්‍යාපනය නොහොත් උගත් කමත් මේ වගේමයි තමන්ගේ උගත් කමින් හෝ දැනුමින් ප්‍රමෝදයට පත්වී ඔවුන්ගේ සමාජ වගකීම් අමතක කර උගත් කම ඔටුන්නක් සේ හිස
පඳවාගත් උගතුන් අද යුගයේ හිඟ නොවේ.
මාද්‍යකරුවන් වෛද්‍ය වරුන් හෙදියන් පමණක් නොව  බස් රියදුරන් කොන්දොස්තරවරු පවා තම සමාජ වගකීම නිසි ලෙස වටහාගෙන ස්වයං අචාරධර්ම පද්ධතියක් පවත්වාගත යුතුය. තවත් කල්ලියක් ගෝත්‍රයක් මේ රටට පලක් නැත. බිම්මට්ටමෙදී ඇහෙන කතාවන් අතර උසස්පෙළ ගණිත විෂයයෙන් පහල සාමාර්ථයක් ගැනීම හා කලා හෝ වාණිජ විෂයයෙන් ඉහල සාමාර්ථයක් ගැනීම සංසන්දනය කිරීම ද මේ ආකාර විහිළුවකි.මට අනුව නම් ගණිත විෂයයෙන් පහල සාමාර්ථයක් ගන්න අයට වඩා කලා හෝ වාණිජ විෂයයෙන් ඉහලසාමාර්ථයක් ලබාගන්නා සිසුන් ඔවුන්ගේ විෂයපථය තුළ ප්‍රවීණයොය. සියලු රැකියා එක සමානය සියල්ලන්ටම ඇත්තේ නිශ්චිත වගකීමක් පමණි. වැටුපට වැඩකරන සියල්ලෝම (ඉන්ජිනේරුවාද දොස්තරද ගණකාධීකරුද කසළ සෝදකයාද) සමානය. දේශපාලඥයා ගැන කතා කල යුතු නැත. එහෙත් දෙශපාලනයද වර්තමානයේ බඩ රස්සාවකි. තනතුරේ උද්දාමයට යටවී තමාගෙන් වියයුතු සේවය යුතුකම පැහැර හැරීම අවසානයේ මුළුමහත් රටක් සමාජයක් මිනිස් පරපුරක් වල පල්ලට ඇද දැමීමට හේතුවෙනවා ඒකාන්තය. 

ගමනේඅතරමග සිඟිති ආතල් වලින් තෘප්තිමත් වී අවසාන අරමුණ මගහරවා නොගැනීමට අප පරෙස්සම් විය යුත්තේ එබැවිනි ......

Saturday, June 15, 2013

කුලේ- ගෝත්‍රිකත්වයේ සිට ශිෂ්ටත්වය කරා 1

-->
මෙ දවස්වල කුලේ ගැන කට්ටියම කතා වෙනවනේ අර එංගලන්තකාරයෝ පරද්දන්න මතක හිටින ක්‍රිකට් ඉනිමක් ක්‍රීඩා කල කුලේ නොහොත් නුවන් කුලසේකර. එත් මෙ
ලිපිය උන්දැ ගැන නෙවෙයි. තාමත් කසාද බදින්න පත්තරවල දාල තියන add වල
තියෙන කුලේ ගැනයි.ඉන්දියානු බ්‍රාහ්මණයන්ට අනුව මහා බ්‍රහ්මයගේ කටින්
උරයෙන් කලව වලින් යටි පතුලෙන් නේ උන් ඉපදිලා තියෙන්නේ.අපෙ කට්ටිය සමහරු
සිංහයන්ගෙන්,රාවණ පරපුරේ හෙලයන්ගෙන්, විජයගෙන්, වානරයන්ගෙන්, වගේ නොයෙක්
නොයෙක් සම්භවයන්ගෙන් පැවතගෙන අවිල්ල තියෙනවා. මේ ගැන වටිනා ජාන
විද්‍යාත්මක පැහදිලි කිරීමක් මයියගේ බ්ලොගයෙ තිබුනා.දැන් මේ රටේ බලය
බෙදීම් අලකලන්චි යන එකේ කුලේ අදින්න ඔන කියල හිතුනා.

ලංකාවෙ ප්‍රධාන වරිග දෙක වන සිංහල හා දෙමළ වරිගෙ ඇත්තො අතර
බෙදීම් පූට්ටු කිරීම් ගැන කතා කරන යුගයේ මට හිතෙන දෙයක් තමයි කට්ටිය එකට
ජීවත් වෙනවට වඩා ආස බෙදිල මොකක්හරි ගැන්සියකට සෙට් වෙලා ලේබලයක් අලවගෙන හංවඩුවක් ගහගෙන ජීවත් වෙන්න. එකත් මාරම ආතල් එකක් වෙලා. කුලේ කියන්නෙත් ඔන්න ඔහොම කට්ටියට ආතල් ගන්න යොදාගන්න සංකල්පයක්. උඩරට රජකල දෙවන රාජසිංහ රජුට රොබට් නොක්ස් සුදු ගැහැනියෙක් ගෙනත් දෙනව කිව්ව වෙලේ රජ්ජුරුවෝ කවියකින් කිව්වලුනේ ලංකාවේ ඔක්කොම කුලවල නම්.

"
පල්ලරු පඩක්කරු මුක්කරුද පරවරු
ඊ වඩු දුරා පදු කෙවුලන් සහ හකුරු
බෙරවා රදා ඔලි කින්නරුද පුරවරු
මුන් මිස තොපේ ලිය අරගන්නේ කවුරු"

අපට මහාලොකු විජයග්‍රහනයක් අරන් දුන්න යුද්දේ දිනන්න වාසියක් උන LTTE එකේ දෙකඩ වීම වෙල්ලාල මුක්කුවර් කියන කුල දෙකේ දෙකඩවීම නිසා වූ දෙයක් නෙව. සිංහල ජන සමාජය ඇතුළේ මහ ලොකුවට කුලය එතරම් තදින් ඉස්මතු නොවුනත් අදටත් සමහර ඇත්තෝ මගුල්තුලා කටයුතු වලට විතරක් නම් මදැයි ටෙලි නාට්‍ය තිර පිටපත් වල වගෙම බ්ලොග් අවකාසේ අන්තර්ජාලේ ෆේස්බුකියේ comment දාන්නත් හරි අපූරුවට කුලය යොදාගන්න එක තමයි සුපිරි.

ජන සමාජයේ සංවර්ධනය පසු පසට ඇදගෙන යන්න වලි කන එවුන් අතර සමාජ
සංවර්ධනය ඉස්සරහට ගෙනියන්න දිරිදීමක් හැටියට ගෝත්‍රිකත්වයේ සිට ශිෂ්ටත්වය
කරා කියල ලිපි මාලාවක් පටන් ගන්න හිතුනා.එකේ මුල් පියවර හැටියට කුලේ
නොහොත් කුලය ගැන මෙන්න මෙහෙම කියන්නම්. 
මිනිසා සමාජ ගත වුනේ එකිනෙකා අතර නිෂ්පාදන හුවමාරු කරගන්න හා සාමුහිකත්වය තුළින් සොබාදමේ අභියෝග ජයගන්න. ඒ තුල තම වර්ගයාගේ පැවත්ම තහවුරු කරගන්න පොඩි අරගලයකුත් යනවා.අම්මටයි තාත්තටයි ඔන කොහොමහරි තමන්ගේ පැටව් ටික ඉස්සරහටම දක්කන්න.ගමක් විදිහට එකතු වෙලා ගමේ එකාට බක්ප් එක දෙන්න.ජාතියක් විදිහට අනික් වරිගේ එකාට අරින්න.ඔක තමයි සමාජයක හීනියට යටින් දිවෙන ගාමක යාන්ත්‍රණය.
කුලය කියන්නෙත් අන්න එහෙම තමාගේ නිෂ්පාදනහැකියාව සහ ගනුදෙනුවකදී demand කිරීමේ හකියාව මත කෙරුණු වර්ගීකරණයක්. අපේ ප්‍රධාන ආහාරය උනේ බත්. ඉතින් බත් හදන්න වී වවන එකා තමා පොර. වලං හදන එකාට මාළු අල්ලන එකාට බෙරගහන එකාට නිෂ්පාදන හුවමාරුවෙදී කෙවල් කරන්න බැරි උනා.මොකෝ ඌ හදපු වළඳ කන්නද. ඉතින් ගොවියා කියන විදිහකට ගනු දෙනුවකට එකගවෙලා ඒක කරගන්න කුඹලට සිද්ධ උනා. ඌව පාගලා යටපත් කරල දැම්මා.අනික් කුලවලත් තියෙන්නේ මීට සමාන කතන්දරයක්.පස්සේ කාලෙක මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගත්තට පස්සේ තමා ඔය තත්වය වෙනස් උනේ.එහෙම්මම කුල ක්‍රමය අභාවයට ගියා.මෙකත් (මුදල් වලින් ගනු දෙනු කිරීම) එක්තරා සමාජ පෙරළියක් තමා.කොටින්ම ශිෂ්ටත්වය කරා ඉදිරි පිම්මක්.

දැන් ඕක අහෝසිවෙලා ගියාට මොකද කට්ටිය තාමත් යටි හිතින් ඕකට කැමතියි. මම අර මුලින් කිව්ව වගේ label අලවගෙන පොරක් වෙන්න තියන සිල්ලර ආශාව.දාන කොමෙන්ටුවල පවා කුලවාදය.උඩරටද පහතරටද දකුණෙද බෙන්තරද නුවරද කොළඹද යන වග හරි ආම්බරයෙන් කියවල අනෙකාට පහර ගහනව.

ජාතික රාජ්‍ය හැදීම පැත්තකට දාලා මේ ගෝත්‍රික කුණු ගොඩ ශුද්ධපවිත්‍ර කරන්න ඔන කොනක ඉඳල. එතකොට ගොබ්බ Comment වල ඉඳල 21 වන සියවසේදිත් හාමුලට කියලා ඇරවගන්න ප්‍රවේණි දාසයෝ ඉන්න වලවු කතා තියෙන ටෙලිනාට්‍ය දක්වාම සැබෑලෙස ශිෂ්ඨ සමාජයෙන් අතුගෑවීගිය ගෝත්‍රික ලක්ෂණ ඉස්මතු නොවේවි.

Wednesday, May 22, 2013

ආඬි හත් දෙනාගේ කැඳ හැළිය නොහොත් 21 වර්ජනයේ කඳුළු කතාව...


              21
වනදා වර්ජනයක්ද මොකක්දෝ එකක් තිබුණා යයි රට්ටු කථාවෙති.වර්ජනය අසාර්ථකයි රජයේ මාධ්‍ය බුරා වැටෙති වර්ජනය සාර්ථකයැයි වර්ජකයෝ කියතියි සිරස කියති.කුරිරු අති භයානක ලෝකයෙ ප්‍රභලම ත්‍රස්තවාදය පැරදවූ මේ රජයට එරෙහිව වැඩ වැරීම ගුණමකු කමක් යයි හොරෙන් හොරෙන් රෙදි හෝදන නඩය හොරෙන් හොරෙන් කියති.අවංකකම කළගුණ සලකීම ඉවසීම වැනි උතුම් ගුණධර්ම සහිත මිනිසුන් අප බවින් කවුරුන් හෝ අරින්න ආවත් පශ්චාත් භාගය නිසිපරිදි හරවා නවා පුද දිය යුතු බව පාඩම් කියාදෙති. 

           සබවින්ම සිදු වූයේ කුමක්ද? මින් තේරුම් ගතහැකි ලාංකිකයාගේ මනෝභාවය කුමක්ද?            රාවණගෙන් හෝ විජයගෙන් හෝ සිංහයන්ගෙන් හෝ වඳුරන්ගෙන් හෝ පැවත එනවාය කියා නිතරම මිණි මරාගන්න දඟලන සිංහල නොහොත් මහා ජාතිකයන් සැබවින්ම දුර්වලය උපන්ගෙයිම නිවටය බයාදුය.සත්‍යය එයයි.විජාතිකයන් කඩා බිඳ දමා ගිය කොන්ද යළි සවි වී නොමැත.දීන බවේහි පරාධීන බවෙහි පතුලටම ගිලී ඇත.ඔබට සමහරවිට මා සමග තරහක් අතිවනු අත. 

    උදාහරණයක් ලෙස මෙය මදකට සිතන්න:- ලාංකිකයන් ආගන්තුක සත්කාර වලට ප්‍රකට සිනහමුසු ආචාරශීලී ජනතාවක් බව දෙශ දේශාන්තරයන්හි ප්‍රකට බව උඩ පැනපැන කියනවා ඔබ අසා ඇති. එහෙත් එම ගුණාංග ඔබ ලාංකිකයෙකුගෙන් අත්විඳ තිබෙනවාද.රවන ඔරවන යටිකූට්ටු වැඩ කරන තම ලබඳියාට වෛරී ලෙස සලකන මිනිසුන් නොවෙද අප අතර සිටිනුයේ.සබවින්ම සිදුවනුයේ විදේශිකයෙකු දුටු විට පමණක් දෙකට තුනට නැමී සිනාසී ආචාරශීලිව සලකීම පමණි.මෙය බයාදු නිවට කම මිස වෙන කුමක්ද

               කොඳු කඩා දැමූ නිවටයන් අතර සොයාගත නොහැකි දුර්ලභම දෙය නම් අවංක හා සත්‍යය වාදී මිනිසුන්ය. මුන් සැමදා බලා සිටිනුයේ ලඟසිටින අනෙක් එකා බිල්ලට දී තමන් බේරී සුව සේ සිටීමටය. අප වෙනුවෙන් ප්‍රභාකරන් මැරීමට දියසේන එන තුරු බලා සිටියේය වගේ එකෙක් ආවේය.සියල්ලෝම උන් සරණ ගියෝය.දැන් මදි නොකියන්න කළගුණ සලකති රීරි මාංශ හූරා කා බඩගින්නේ මැරෙන්න ඉඩ ඇරියත් නාස්තිය වංචාව දූෂණය ඉහ වහා ගියත් අසාධාරණ ලෙස විරුද්ධ වාදීන් මරාදමුවත් තවමත් කළගුණ සලකලා ඉවර නැත. දුර්වලයන් සර යන වීරයන් සහ වීරයන් සරණ යන දුර්වලයන් විහිළුකාරයන් වන්දිභට්ටයන් අඩු නැතිව ඇත්තේ එබැවිනි. හැම එකාම බලා සිටින්නේ තමාගේ ජාම බෙරාගෙන shape එකේ ජීවත් වී තමා වෙනුවෙන් අනෙකා සටන්කොට දිනාගන්නා දෙය භුක්ති විඳීමටයි.අඩු තරමේ කම්කරු වෘත්තීය සමිති ටික පවා එක පෙරමුණකට එකතු කරගත නොහැකිවූ මෙවන් මානසික වහලුන් කුහකයන් නිවටයන් පිරි රටක අරගල යනු තවදුරටත් විහිළුවක් පමණි.....
Related Posts Plugin for WordPress, Blogger...