Tuesday, May 14, 2013

පනින රිලවුන්ට ඉනිමං (ටෝ බ්‍රවුසරය-tor browser)

  

                   මෙම ලිපිය  ෆෙස්බුකියේ සැරිසරද්දී අහම්බෙන් මෙන් හමුවු වූවක් වන අතර අනාගතයේ හෝ කාට කාටත් ප්‍රයෝජනවත් විය හැකි නිසා blog වාසීන් වෙත අමු අමුවේ ගෙඩිය පිටින් ඉදිරිපත් කරමි.මේ පිළිබද දන්නා අයවලුන් බ්ලොග් අවකාශයේ ද සිටිය හැක.මෙහි මුල් ලිපිය වෙන කොහේ හෝ පලවී ඇති බව දුටුවොත් මා දැනුවත් කරන්න. එවිට රචකයාගේ අවසරය ගෙනම ඉදිරිපත් කළ හැක.
 

මුල් රචකයාට තුති පුදමි.....
අන්තර්ගතය පිළිබද මාගේ වගකීමක් නැත.....


ටෝ බ්‍රවුසරය යනු කුමක්ද ?

ටෝ යනු අන්තර්ජාලය භාවිතා කරන පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය සහ ආරක්ෂාව වැඩි දියුණු කර දීමේ අරමුණින් නිර්මාණය කරන ලද පරිගණක ජාලයකි. ටෝ බ්‍රවුසරය යනු එම ටෝ ජාලය හරහා අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වන සේ නිපදවනු ලැබූ බ්‍රවුසර් මෘදුකාංගයකි. මුලින්ම ටෝ ජාලයේ අරමුණ වූයේ ඇමරිකානු රජයේ තොරතුරු හුවමාරු කර ගැනීම් ආරක්ෂාකාරීව කර ගැනීමය. එහෙත් අද වන විට අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම පරිශිලයෙකුට ටෝ ජාලය භාවිතා කිරීමේ හැකියාව ලබා දී ඇති අතර ඒ සඳහා කිසිඳු මුදලක් අය කෙරෙන්නේද නැහැ. මෙම ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසරන පරිශීලකයාට ඔහුගේ රටේ රජය විසින් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා පහසුවෙන් සහ ආරක්ෂාකාරීව පිවිසීමේ හැකියාව ලැබෙන අතර එපමණක්ද නොව එය භාවිතා කරන්නාගේ අයිපී ලිපිනය‚ ඔහු සිටින ස්ථානය‚ ඔහු භාවිතා කරන පරිගණකය පිළිබඳ තොරතුරු ආදී කිසිම තොරතුරක් මෙම ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමේදී කිසිවෙකුට දැන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ( අන්තර්ජාල සේවා සපයන්නාට පවා)
ටෝ ජාලය භාවිතා කරන්නේ පුද්ගලයන්
ලොව පුරා පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ටෝ ජාලය භාවිතා කරනු ලබයි. ඒ අතර සාමාන්‍ය පරිශීලකයන්‚ ව්‍යාපාරිකයන්‚ මානව හිමිකම් ක්‍රියාකාරීන්‚ මාධ්‍යවේදීන්‚ ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් වෙයි.
සාමාන්‍ය පරිශීලකයන් ඔවුන්ගේ තොරතුරු කිසිවෙකුට දැන ගැනීමට නොහැකි ආකාරයට නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරීමට සහ අවහිර කර ඇති වෙබ් අඩවි වෙත පිවිසීම සඳහා මෙම ටෝ ජාලය භාවිතා කරනු ලබයි.
ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ තොරතුරු ආරක්ෂාකාරීව හුවමාරු කර ගැනීම සඳහා ටෝ ජාලය භාවිතා කරනු ලබයි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන ප්‍රදේශ වල සිට ආරක්ෂාකාරීව ලොවට හෙලිදරව් කිරීමට මෙම ටෝ ජාලය භාවිතා කරනු ලබයි. (ටෝ ජාලය හරහා ඔවුන් එය සිදු කරන බැවින් ඔවුන්ගේ ස්ථාන සහ වෙනත් කිසිදු තොරතුරක් එම ප්‍රදේශ වල රජයන්ට හෝ වෙනත් කිසිදු අයෙකුට හෙලිදරව් කර ගැනීමට නොහැකි වේ. )
මාධවේදීන්ද ඔවුන්ගේ වාර්ථා කිරීම් සහ වෙනත් දත්ත හුවමාරු කර ගැනීම් ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා මෙම ටෝ ජාලය බාවිතා කරනු ලබයි.
එමෙන්ම ලොව පුරා විවිධාකාර අරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් විසින් මෙම ටෝ ජාලය භාවිතා කරන අතර ඔවුන්ගේ අරමුණ වන්නේ සිය දත්ත සහ තොරතුරු ආරක්ෂාකාරීව හුවමාරු කර ගැනීම සහ සිය අන්තර්ජාල කටයුතු පුද්ගලිකව කර ගැනීමය.
ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීකයාට ටෝ බ්‍රවුසරය වැදගත් වන්නේ ඇයි ?
ඔබ කවර දේශපාලනික මතයක් දැරුවද නීතිය සහ සාමය සැමට එක සේ සාධාරණව ක්‍රියාත්මක විය යුතුය යන මානව හිතවාදී ආකල්පය දරන්නෙකු යැයි මා උපකල්පනය කරමි. එහෙත් වර්ථමාන ශ්‍රී ලාංකික ආණ්ඩුව මඟින් එය කොතරම් දුරට ඉටු කර තිබෙනවාද යන්න ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වටහා ගැනීමට අපහසු නැත. ආණ්ඩුවේ ගැත්තන්ට එක නීතියකුත් ඊට එරෙහිව යන්නන්ට එක නීතියකුත් ක්‍රියාත්මක වන ආකාරය ලංකාවේ සිටින කුඩා දරුවෙකුට පවා වටහා ගැනීමට හැකි බවට සැකයක් නැත.
එසේම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඇති කර තිබෙන දැඩි මාධ්‍ය මර්දනය නිසා මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම්‚ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිද්ධීන්‚ මාධ්‍යවේදීන් අතුරුදන් කිරීමේ සිද්ධීන් බොහෝ ගණනක් ලංකාවෙන් වාර්ථා විය. ඒවා සිදු වී බොහෝ කාලයක් ගතවූ පසුත් ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීම සහ ඒවා සධාරණීයකරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රසිද්ධියේ ක්‍රියා කිරීම නිසා ඒවාට වඟ කිය යුත්තේ ආණ්ඩුවම බව ඕනෑම අයෙකුට මැනවින් වැටහේ.
එපමණක්ද නොව වත්මන් ආණ්ඩුව විසින් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම‚ අතුරුදන් කරවීම‚ මාධ්‍ය ආයතන විනාශ කිරීමෙන් නොනැවතී ආණ්ඩු විරෝධී අසත්‍ය දේ ප්‍රචාරය කරන බවට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් නොබියව සත්‍ය පාඨකයා හමුවේ තබන නිවුස් වෙබ් අඩවි ගණනාවක්ද ලංකාව තුල අවහිර කරන ලදී. ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍ය තරඟයට මෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ඔහුගේ බත් බැලයන්ගේ කුණු රෙදි සෝදමින් සිටිද්දී ඔවුන් කරනු ලැබූ අපරාධ‚ දූෂණ‚ වංචා ආදිය පිළිබඳව නොබියව රටට හෙළි කරන්නේ මෙම නිවුස් වෙබ් අඩවි වලින් පමණක් නිසා නීතිය සහ සාධාරණත්වය අගයන ලාංකික ජනතාවට වෙබ් අඩවි අවහිර කිරීම නිසා සිදු වූයේ ඉමහත් අසාධාරණයකි.
එහෙත් මෙසේ අවහිර කරනු ලැබූ නිවුස් වෙබ් අඩවි වලටද මෙම ටෝ බ්‍රවුසරය හරහා කිසිඳු බාධාවකින් තොරව පිවිසිය හැක. නොමිලේ සේවය ලබා දෙන ප්‍රොක්සි වෙබ් අඩවි මඟින්ද මෙය කල හැකි මුත් ප්‍රොක්ස් වෙබ් අඩවි වලින් ලැබෙන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් මෙම ටෝ බ්‍රවුසරයෙන් ලැබෙයි. ඔබ කරන්නේ තහනම් කර ඇති නිවුස් වෙබ් අඩවි නැරඹීම පමණක් නම් නොමිලේ සේවය ලබා දෙන ප්‍රොක්සි වෙබ් අඩවියක සේවාව ඒ සඳහා ප්‍රමාණවත්ය. එහෙත් ඔබ නිවුස් වෙබ් අඩවි වලට තොරතුරු ලබා දීම ආදීය කරන්නේ නම් ඒ සඳහා ඉහල ආරක්ෂාවක් අවශ්‍ය නිසා එවැනි දේ සඳහා මෙම ටෝ බ්‍රවුසරය මනාව ගැලපේ.
ටෝ බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කරන්නේ කෙසේද ?
ටෝ බ්‍රවුසරයේ සෙට් අප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීම සඳහා පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න. එවිට එය ඩවුන්ලෝඩ් වීම ආරම්භ වනු ඇත.
https://www.torproject.org/dist/torbrowser/tor-browser-2.3.25-6_en-US.exe
ටෝ බ්‍රවුසරය ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද ?
ටෝ බ්‍රවුසරයේ සෙට් අප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමෙන් අනතුරුව එය මත ඩබල් ක්ලික් කරන්න. එවිට ලැබෙන ඩයලොග් බොක්ස් එකේ "..." යනුවෙන් දැක්වෙන බට්න් එක මත ක්ලික් කර ලැබෙන ඩයලොග් බොක්ස් එකේ ටෝ බ්‍රවුසරය පිහිටුවීම සඳහා ඔබ කැමති තැනක් ලබා දී ඕකේ බට්න් එක මත ක්ලික් කරන්න.
ඉන්ස්ටෝල් වීම අවසන් වූ පසු ඔබ එය ඉන්ස්ටෝල් වීමට ලබා දුන් ස්ථානයට ගොස් එහි ඇති Start Tor Browser යන ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න. ( ඇතැම් පරිගණක පද්ධති වල මෙය Start Tor Browser.exe ලෙසද පෙන්වනු ලබයි. )
එවිට Vidalia Control Panel නමින් ඩයලොග් බොක්ස් එකක් ඕපන් වී ටෝ ජාලයට ඔබේ පරිගණකය සම්බන්ධ කිරීමට උත්සාහ කරයි. ඔබේ පරිගණකයේ ෆයර්වෝල් මෘදුකාංගයක් ඇත්නම් මෙම Vidalia Control Panel ඩයලොග් බොක්ස් එකට අන්තර්ජාලයට පිවිසීමට අනුමැතිය එම ෆයර්වෝල් එකෙන් ලබා දීම කල යුතුය. අවසානයේ Vidalia Control Panel ඔබේ පරිගණකය සාර්ථකව ටෝ ජාලය හා සම්බන්ධ වූ බව Vidalia Control Panel හි දක්වනු ඇත. ඒ සමඟම සුළු මොහොතකින් Tor Browser එකද ඕපන් වනු ඇත. දැන් ඔබ ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසීමට සූදානම්ය. (සැ.යු­ ටෝ බ්‍රවුසර වින්ඩෝව ඕපන් වූ පසුත් Vidalia Control Panel වින්ඩෝවද එසේම පවතී. එය close කිරීමෙන් වලකින්න. එය close කලහොත් Tor Browser වින්ඩෝවද close වීම සිදු වේ. ) තවද Tor Browser වින්ඩෝවේ Congratulations ! Your browser is configured to use tor ලෙස දක්වනු ඇත. ඉන් කියවෙන්නේ ඔබේ ටෝ බ්‍රවුසරය ටෝ ජාලය බාවිතා කරමින් අන්තර්ජාලයේ සැරීසැරීමට සූදානම් බවය. එය වරදවා වටහා නොගන්න. (මෙම පණිවිඩයෙන් ඔබේ පරිගණකයේ අනෙකුත් වෙබ්බ්‍රවුසර් (Internet Explorer, Mozilla Firefox, Google Chrome ආදිය ) ටෝ ජාලය බාවිතා කිරීමට හැඩ ගැස්සුනු බවක් නොකියයි. ඉන් අදහස් වන්නේ ටෝ බ්‍රවුසරය ටෝ ජාලය හරහා අන්තර්ජාල පරිශීලනයට සූදානම් බව පමණි. )
දැන් ඔබ සාමාන්‍ය පරිදි ටෝ බ්‍රවුසරයේ ඇඩ්‍රස් බාර් එකෙහි ඔබට අවශ්‍ය වෙබ් ලිපිනයක් ටයිප් කර එන්ටර් කිරීමෙන් ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසීමට ඔබට හැක. ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසෙන විට රජය විසින් කර ඇති කිසිඳු අන්දමේ අවහිර කිරීමක් බාධාවක් නොවේ. එසේම ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසෙන විට ඔබේ සත්‍ය අයිපී ලිපිනය‚ ඔබ හුවමාරු කර ගන්නා දත්ත සහ තොරතුරු‚ ඔබ සිටින ස්ථානය ආදී කිසිදු තොරතුරක් කිසිවෙකුට ලබා ගැනීම කල නොහැක. (ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නාටද ලබා ගත නොහැක) ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසැීමෙන් අනතුරුව Vidalia Control Panel එක හා Tor Browser වින්ඩෝව Close කර දැමීමෙන් ඔබට ඉන් ඉවත් විය හැක.
( අවවාදයයි ­ ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමේදී කිසිවිටෙකත් පහත සඳහන් දේවල් නොකරන්න. එසේ කල හොත් ඔබගේ නිර්නාමිකතාවයට බලපෑම් ඇති විය හැක. එනම් ඔබ ටෝ බ්‍රවුසරයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී පහත දේවල් හෝ ඉන් එකක් සිදු කලොත් ඔබේ සේවා සපයන්නාට ඔබ පිලිබඳ යම් ඉඟියක් ලබා ගැනීමට හැකවේවි. )
ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඔබේ පරිගණකයේ වයිරස් ගාඩ් හෝ වෙනත් මෘදුකාංග අප්ඩේට් කිරීම නොකරන්න.
ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඔබේ පරිගණකයේ ඇති වෙනත් වෙබ් බ්‍රවුසර් වලින් අන්තර්ජාලයට පිවිසීම සිදු කිරීමෙන් වලකීන්න.
ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ස්කයිප් භාවිතා කිරීමෙන් වලකින්න.
ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංග වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමෙන් වලකින්න.
ඔබ ඉහත සඳහන් දේවල් වලින් වැලකුනේ නැත්නම් ඉන් ඔබගේ නිර්නාමිකතාවට හානි වේ. ඔබ නිර්නාමික තාවය ගැන අපේක්ෂා නොකරමින් හුදෙක් තහනම් නිවුස් වෙබ් අඩවි වලට ඇතුලු වීම පමණක් ටෝ බ්‍රවුසරයෙන් අපේක්ෂා කරයි නම් ඉහත දේවල් සිදු කිරීමේ බලපෑමක් නැත. එහෙත් ඔබට ඔබ පිලිබඳ කිසිඳු අන්දමේ තොරතුරක් අන්තර්ජාල සේවා සපයන්නාට පවා දැන ගත නොහැකි ආකාරයට අන්තර්ජාලයේ සැරි සැරීමට අවශ්‍ය නම් ඉහත දේවල් නොකිරීම අනිවාරයෙන්ම කල යුතුය. ( මතක තබා ගන්න ­ ඉහත සඳහන් දේවල් නොකල යුතු බව මා දක්වා ඇත්තේ ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරන විටදී පමණි. ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසැරීම අවසන් වූ විට ඉහත සඳහන් දේවල් කලා කියා ඔබෙගේ නිර්නාමිකතාවට බලපෑමක් වන්නේ නැත. )
මෙම ටෝ බ්‍රවුසරයෙන් ඔබට සැලසෙන වාසි
ශ්‍රී ලංකා රජය තහනම් කර ඇති නිවුස් වෙබ් අඩවි වන
www.lankaenews.com
www.lankaguardian.com
www.lankanewsweb.com
www.lankaxnews.com වැනි

වලට සහ වෙනත් තහනම් කර ඇති ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට හැකියාව ලබාදීම.
ඔබට විදේශ රට වල සිට ක්‍රියාත්මක නිවුස් වෙබ් අඩවි වලට කිසියම් තොරතුරක් රහසිගතව ලබා දීමට අවශ්‍ය නම්. ( ටෝ බ්‍රවුසරය මඟින් ඔබට පූර්ණ නිර්නාමිකතාවක් ලබා දෙන නිසා ඔබ සිටින ස්ථානය හෝ වෙනත් ඔබගේ කිසිදු තොරතුරක් රජයට හෝ ඊට සම්බන්ධ කිසිවෙකුට ලබා ගැනීමට නොහැකි වන සේ ඔබට මෙය සිදු කල හැක. ඒ නිසා ඔබට මෙවැනි දේ කිරීමේදී කිසිදු බියක් වීමේ අවශ්‍යතාවක් දැන් නැත. )
නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරිය යුතු වෙනත් ඔබගේ අවශ්‍යතා සඳහා
ටෝ ජාලයෙන් ඕනෑම අයෙකුට සේවය නොමිලේ ලබා දෙන අතර ඔබට ටෝ ජාලය ගැන වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක මත ක්ලික් කර වැඩි විස්තර ලබා ගන්න.
https://www.torproject.org/




10 comments:

  1. බොහොම වැදගත් ලිපියක්.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සිංහලයා..... ඔබට ස්තුතියි !

      Delete
  2. ඉතාම වැදගත් ලිපියක්.. මීට කලකට පෙර මාත් මේ අඩවි වාරණයට එරෙහිව කළ හැකි දේ ගැන ලිව්වා (මෙන්න මෙතනින් බලන්න). Tor පුද්ගලිකව මමත් පාවිච්චි කරන තාක්ෂණයක්.. මේකට හැකි විදියෙන් ප්‍රචාරයක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය කියෙව්වා. ඉතාම වැදගත් ලිපියක්. සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොගයට....ස්තුතියි ඔබට...!

      Delete
  3. පට්ට සහෝ මේක ඇත්තටම ප්‍රයෝජනවත්.ඒත් මේ මගින් අයුතු දේවල් සිද්ද වෙයිද දන්නේ නැහැ අපේ මිනිස්සුන්ගේ අතින්!

    ReplyDelete
    Replies
    1. අනිවා නිශාන් මේකේ නරක පැත්තකුත් තියෙනවා. එත් දැනුම කියන දේ හංගල තියාගන්නවට වඩා බෙදාහදාගන්න එක හොදයි. එක හරි විදිහට යොදාගන්න එක මිනිස්සුන්ගේ වගකීමක්...
      ස්තුතියි ඔබට.........!

      Delete
  4. අඩෝ මචෝ කලින්ම එන්නනම් බරිඋනා.
    එත් මේකෙන් gmail යන්න බෑ නේද.

    ReplyDelete
    Replies
    1. මොකද බැරි.. හැබැයි ලංකාවෙන් නම් ගොඩක් slow වෙයි. location එක verify කරන්න අහයි ගූගල් එකෙන්. වෙන අවුලක් නැහැ.
      හැබැයි කොල්ලෝ මතකනේ කිසිම දෙයකට මම වග කියන්නේ නම් නැහැ.... :D

      Delete
  5. මේවා තහනම් කිව්වට ලොග් වෙන්න පුළුවන්නේ

    ReplyDelete
  6. මේවා තහනම් කිව්වට ලොග් වෙන්න පුළුවන්නේ

    ReplyDelete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...