Friday, June 21, 2013

ඉකාරස් ගේ පාඩම (paradigm of Icarus)

         ඔන්න මම කතාවක් අනුසාරයෙන් ලියන මුල්ම ලිපිය ලියනවා.හැමෝම කතන්දර ලිව්වම ඒකේ ගතියකුත් නැහැ නොවැ. මොනව උනත් මේකට කතාවක් සම්බන්ධ නිසා නොලියම බැහැ.මේක අපේ විස්ස විජ්ජාලේ ඉංජීනේරු  දර්ශනය සම්බන්ධ පාඩම් මාලවකදි ඉගෙන ගත්ත කතාවක්. ඒ නැතත් ඉතිහාසය සාහිත්‍ය වගෙ විෂය ගැන දන්න කියන උදවිය මෙ කතාව අහලත් ඇති.මෙකයි ඔය කියන කතාව. 



    ග්‍රීසියේ එක්තරා කාලෙක හිටියලු තාත්තෙකුයි පුතෙකුයි. පුත්‍රයගේ නම තමයි ඉකාරස් (Icarus
) තාත්තා ඩේඩ්ලස්
(Daedalus) මුන් දෙන්න නම් දාරාපු අණ්ඩ පාළුවො දෙන්නෙක් තාත්තට හපන්
පුතයි පුතාට දෙවෙනි නැති තාත්තයි. මුන්ගේ ජඩකම් ඉවසගන්න බැරුව මුන් දෙන්නා දූපතක තිබුණ හිරගෙයක හිර කරල තිබුණේ (අර “Death race” film එකේ වගේ). ඒක මුහුද මැද්දේ තිබුණ බොහොම සුන්දර දිවයිනක්. තත්තා ඩේඩ්ලස් හා පුතා ඉකාරස් ඔහොම ඉන්නකොට මුන් දෙන්නට පැනල යන්න උපක්‍රමයක් කල්පනා උනාලු. මේ අදහස ආවේ තාත්තට ඔහු තමයි වැඩ්ඩා. මෙයාල දෙන්නා දූපතට වැටෙන කුරුලු පිහාටු එකතු කරගෙන ඉටි වලින් අලවලා හැදුවලු අත්තටු යුගල දෙකක්
(රයිට් සහෝදරයන්ට කලින් ගගන තාක්ෂණය සොයාගත්තේ මුන් දෙන්නද මන්දා).ඉතින් වැඩේ නිම කොරල සුදුසු දින වකවානුවක් බලලා හොර රහසේම දෙන්නා නැග්ගලු
හිරගෙදර තාප්පෙට. නැගලා අර අත්තටු දෙක පළඳගෙන පැන්නලු තාප්පෙන්.

 
ඊට පස්සේ සට සට ගහලා අත්තටු ගහලා පියාඹල යන්න පටන් ගත්තාලු. කිසිම අතුරු ආන්තරාවක් නැතුවම කිරි ගහට ඇන්නා වගේ වැඩේ හරි ගියාලු.හිතාගන්න පුළුවන් නේද
පියාඹනකොට හිතට දැනෙන හැගීම. හරියට කුරුල්ලෝ දෙන්නෙක් වගේ සුළං පහර කපාගෙන ඉදිරියටම පියාඹගෙන යනවා මේ තාත්තයි පුතයි. ටිකක් වෙලා පියාඹගෙන යනකොට පුතාට මේ ආතල් එක හොඳටම හිතට දැනුණලු.උන්දැ මොකද කොලේ තව තවත් උඩටම පියාඹන්න පටන් ගත්තා. තාත්තාට මේ වැඩේ එච්චර ඇල්ලුවේ නැහැ. ඔහු පුතාට අවවාද කළා වැඩිදුර ඉහළට පියාඹන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට ගොඩබිමකට පය ගහගමු කියලා. ඒත් පුතාට ඒක ඒ වෙලාවේ තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.ඔහු උද්දාමයේ උපරිමයට එළඹිලයි හිටියේ ඔහු තව තවත් ඉහළටම පියාඹන්න පටන් ගත්තා. තාත්තත් පුත්‍ර ස්නේහයයි ආතල් ගැනීමයි පැත්තක තියලා තමුන්ගේ ගමනාන්තය කරා යන්න පටන් ගත්තා. ඉකාරස් ඉහළටම යද්දි හිරු රැස් වැදිලා අර පිහාටු අලවලා තිබුණ ඉටි උණුවෙලා පිහාටු එකිනෙක ගැලවිලා ගිහින් පහළට
වැටිලා මැරුණා.තාත්තා කිසි කරදරයක් නැතුවම තමුන්ගේ ගමනාන්තය වුණ ගොඩබිමක් වෙත පය ගැහුවා. ඔන්න ඔහොමලු ඒ කතාව ඉවර උනේ. 


      දැන් ඉතින් පූර්වාපර සන්ධි ගලපන්නයි යන්නේ. ගොඩක් අයට වෙන ඛේදවාචකයක් ඔය කතාව අතුළේ සැඟවිලා
තියෙනවා. ඒ කියන්නේ යම් අරමුණක් කරා යන ගමනක් පටන් ගත් පසු ඒ ගමන අතරතුර
ගමනේ යෙදීම පිළිබඳ තෘප්තිමත්වී මුල් අරමුණ අමතක කර දැමීම හෝ අමතක වී
යාම
.මෑත යුගයේ ලංකාවේ සිදුවු සමහර සිද්ධිත් ඔය වගේ මුලාවීම් සහ මුළාකිරීම් ගණයට දාන්න පුළුවන්. 



1). රජයේ වැඩ පිළිවෙළ
           "සංවර්ධනය තුළින් ආසියාවේ ආයිෂ්වර්‍යය කරා" යයි හඳුන්වා ගන්නා ලද නිශ්චිත සැලසුම්ගත මහින්ද චින්තනය නම් වැඩපිළිවෙළක් රජයට ඇතත් එය හුදෙක් ලියවිල්ලට හා කියවිල්ලට පමණක්  සීමාවී ඇත. එය මැතිවරණය වෙනුවෙන් කුමක් හෝ ප්‍රකාශනයක් ඉදිරිපත් කල යුතු නිසා ඉදිරිපත් කල ආකර්ශනීය ලියවිල්ලක් මිස ප්‍රායෝගික වැඩපිලිවෙලක් නොවේ.ඒ බව රජයේ ක්‍රියාකාරකම් තුළින්ම පැහැදිලිවී ඇත. සැබෑ ලෙසම මා පෙර ලිපියකත් දැක්වූ ලෙසම සංවර්ධනය යනු රටක මිනිසුන්ගේ ජීවනතත්වය උසස් කිරීම පිණිස ගෙනයායුතු ක්‍රමික වැඩ පිළිවෙළක් මිස සංවර්ධනය වීම පිණිස ජරාජීර්ණ ලෙස දුක් විඳින තත්වයට මිනිසුන් පත්කළ යුතු නොවේ. මහාපරිමාණ වරායවල් ගුවන් තොටුපළවල් ආදී යටිතල පහසුකම් පැවතිය යුතු වුවද ඊට සමගාමීව මිනිසුන්ගේ අවශ්‍යතා ඉස්මතුවී තිබිය යුතුය.වරායවල් තැනීමට පෙර ඒවායින් ආනයන අපනයන කිරීමට නිෂ්පාදනයක් රට තුළ පැවතිය යුතුය.පැය 24 ම පාරේ බස් ධාවනය කරවීමට පෙර එවායේ යාමට මිනිසුන් සිටීය යුතුය.රාත්‍රී 6.00 වන විට නිවසටවී දොරවල් වසාගන්නා මිනිසුන්ට රාත්‍රී බස් කුමටද? ඔනාම ප්‍රභල රාජ්‍යක පදනම එහි නිෂ්පාදනයයි.එය කෘෂිකාර්මික හෝ කාර්මික හෝ විය හැක.අපව ලෝකයා හඳුනාගන්නේ කෙලෙසද ලෝකයට අප දායාද කරන්නේ කුමක්ද යන්න සිතාබැලිය යුතුය.තේ ටික රෙදි ටික ක්‍රිකට් කණ්ඩායම හරුණු කොට ලෝකය අපව අඳුනාගන්නේ වැඩකාර ගැහැනුන් ලේ වැගිරීම් මානව හිමිකම් සුනාමි
ආපදාව ආදී මාතෘකා යටතේ පමණි. 

සංවර්ධනය යනු මාර්ගයකි ක්‍රමවේදයකි ක්‍රියාපටිපාටියකි එය ඉලක්කයක් නොවේ ඉලක්කය විය යුත්තේ උසස් ජීවන තත්වයක්උරුම කර ගැනීම්යි. 
ඉකාරස් ගේ කතාවේදී මෙන් උසස් ජීවන තත්වයක් කරා යන ගමනේදී එය අමතක වී අතරමැද ඉලක්කම් දර්ශක නිර්ණායක හඹාගොස් පහළ ජීවන තත්වයකට මිනිසුන් ඇද දැමීම වෙනුවට බුද්ධිමත් ඉදිරි දැක්මකින් යුතු වැඩ පිළිවෙළක් වහ වහා ආරම්භ කල යුතුය.

2.) පැවිද්දන් හා සමාජ ක්‍රියාකාරිකයන්.
 
          මේකත් ඒ ගොඩටම දාන්න පුළුවන් කතාවක්.
පැවිදිබව නිසා සමාජයෙන් උරුම වන ගෞරවය පිළිගනීම නිසා ප්‍රමෝදට පත්වී මුල් අරමුණ අමතකවී තටු සිඳී බිමට වටුන පැවිද්දන් වර්තමානයේ ඔනා තරම් දැක ගත හැක.පැවිදි වරයේ ඇති වරප්‍රසාද පිළිගැනීම යොදාගෙන සමාජ වගකීමක් කරනවායයි සිතා ඔවුන් කරන ක්‍රියාකාරකම් මගින් ඔවුන්ගේ පූජනීයත්වයම කෙලෙසා ගන්නවා පමණක් නොව අන් සියල්ල්න්මත්
පොදුවේ මිනිස් පරපුරක්මත් අවමානයට හා පරිහානියට ඇද දමයි.වැඩි විස්තර මාතලන් කියල තියෙනවා  ලුණු ඇඹුල් ඇතිවම.


3.)අධ්‍යාපනය
 

          අධ්‍යාපනය නොහොත් උගත් කමත් මේ වගේමයි තමන්ගේ උගත් කමින් හෝ දැනුමින් ප්‍රමෝදයට පත්වී ඔවුන්ගේ සමාජ වගකීම් අමතක කර උගත් කම ඔටුන්නක් සේ හිස
පඳවාගත් උගතුන් අද යුගයේ හිඟ නොවේ.
මාද්‍යකරුවන් වෛද්‍ය වරුන් හෙදියන් පමණක් නොව  බස් රියදුරන් කොන්දොස්තරවරු පවා තම සමාජ වගකීම නිසි ලෙස වටහාගෙන ස්වයං අචාරධර්ම පද්ධතියක් පවත්වාගත යුතුය. තවත් කල්ලියක් ගෝත්‍රයක් මේ රටට පලක් නැත. බිම්මට්ටමෙදී ඇහෙන කතාවන් අතර උසස්පෙළ ගණිත විෂයයෙන් පහල සාමාර්ථයක් ගැනීම හා කලා හෝ වාණිජ විෂයයෙන් ඉහල සාමාර්ථයක් ගැනීම සංසන්දනය කිරීම ද මේ ආකාර විහිළුවකි.මට අනුව නම් ගණිත විෂයයෙන් පහල සාමාර්ථයක් ගන්න අයට වඩා කලා හෝ වාණිජ විෂයයෙන් ඉහලසාමාර්ථයක් ලබාගන්නා සිසුන් ඔවුන්ගේ විෂයපථය තුළ ප්‍රවීණයොය. සියලු රැකියා එක සමානය සියල්ලන්ටම ඇත්තේ නිශ්චිත වගකීමක් පමණි. වැටුපට වැඩකරන සියල්ලෝම (ඉන්ජිනේරුවාද දොස්තරද ගණකාධීකරුද කසළ සෝදකයාද) සමානය. දේශපාලඥයා ගැන කතා කල යුතු නැත. එහෙත් දෙශපාලනයද වර්තමානයේ බඩ රස්සාවකි. තනතුරේ උද්දාමයට යටවී තමාගෙන් වියයුතු සේවය යුතුකම පැහැර හැරීම අවසානයේ මුළුමහත් රටක් සමාජයක් මිනිස් පරපුරක් වල පල්ලට ඇද දැමීමට හේතුවෙනවා ඒකාන්තය. 

ගමනේඅතරමග සිඟිති ආතල් වලින් තෘප්තිමත් වී අවසාන අරමුණ මගහරවා නොගැනීමට අප පරෙස්සම් විය යුත්තේ එබැවිනි ......

10 comments:

  1. //සංවර්ධනය තුළින් ආසියාවේ ආයිෂ්වර්‍යය කරා" යයි හඳුන්වා ගන්නා ලද නිශ්චිත සැලසුම්ගත මහින්ද චින්තනය නම් වැඩපිළිවෙළක් රජයට ඇතත් එය හුදෙක් ලියවිල්ලට හා කියවිල්ලට පමණක් සීමාවී ඇත.//

    චි .. චි.. බලු කතා කියන්න එපා බන්. මේ ඇතිවෙලා තියෙන ආශ්චර්යය ලෝකේ වෙන කොහෙද තියෙන්නේ,

    1. නැවු තියා මාළු බෝට්ටුවක්වත් එන්නේ නැති වරාය
    2. ගුවන් යානා ගොඩ බාන්නේ නැති ගුවන් තොටුපළවල්.
    3. ලයිට් බිල ගෙවාගන්න බැරි නිසා, විදුලි බුබුළු නොදල්වා හිරු එළියෙන් පමණක් වැඩ කරණ ජනතාව.
    4. තමන් විහින් ගස් බැඳෙන මිනිස්සු
    ලියන්න ගියොත් ලිස්ට් එකේ කෝටියක් ලියත හැකි. ඔය මදැයි. ඉතින් ඔයිට වඩා තවත් ආශ්චර්යයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. මොනවට් කියනවද සහෝ...
      පිට ඔපේ සහ නම පවත්වාගැනීමේ අරමුණින් පමණක් සිදුකල ඉලක්කයක් අරමුණක් නැති ව්‍යාපෘති. මුලින් කල යුතුව තිබෙන්නේ ඒ ප්‍රදේශවල නිෂ්පාදන දියුණු කිරීමයි. අනෙක ගුවන් තොටුපලකට සුදුසුම විකල්ප ප්‍රදේශය දඹුල්ලේ තියෙන්නේ. පැහැදිලිවම වෙනස් දේශගුණික කලාපයන් නිසා මෙන්ම කෘෂි නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසත් බොහෝ ප්‍රදේශ ආවරණය කල හැකි නිසාත් දඹුල්ල වඩාත් වඩාත් සුදුසු බව නිර්දේශ වී තිබුනා. මොනා කරන්නද දේශපාලන අත්තනොමතිකත්වය සියළු දේ ඉකමවා යනවා මේකත් එක්තරා ආශ්චර්යයක් තමා

      Delete
  2. අගනා අදහසක් ලස්සන උපමා කතාවකුත් එක්ක. ඔබට දැන් රටේ ගමන් මග පැහැදිලිව පෙනිලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා.... සාදරයෙන් පිලිගන්නවා අන්ධබින්දුවට.

      Delete
  3. රටක් විනාශ කරන්න නම්. එහි ළමා පරපුරයි, අධ්‍යාපනයයි තමයි විනාෂ කරන්න ඕන. අනික මිනිස්සු මත්පැන් වලට පුරුදු කරන එක. 1994 ඉඳලා ඒ වැඩේ නම් ඉතාමත් සාර්ථකව කරනවා මේ සිය්යලෝම. ක්ෂිතිජයෙන් එහා ළෝකය බලන්න වෙන්නේ පොල් ඇමතිගෙ මලක් ගහලා තමයි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ලෝකය පිටිපස්සේ අපි දුවගෙන යන එක නෙමෙයි කරන්න ඕන ලෝකෙට කලින් අපි දුවලා අපේ පස්සෙන් ලෝකය එන විදිහට වැඩ කරන්න ඕන. තවම අපට මිනිස්සු ටික එකට එකතු කරලා එකම රටක් විදිහට හිතන්න පුරුදු කරවන්න බැරි වෙලා තියෙනවා. එකිනෙකාට වෛර කරකර මරාගන්න හදනවා

      Delete
  4. මම මේ කතාව හරිම ආසෙන් බැලුවා මොරබ්බා..මේ වගේ පුරාණ දේව කතා ,කතන්දර කියවන්න හරිම ආසයි මම..වර්තමානයට ඈඳා ඇති ආකාරයත් නියමයි..

    පෝස්ට් එක තුළින් මොරබ්බා කියන්න හදන දේ නම් බොහොම පැහැදිළියි..බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙක් මෙවැනි තැන් ගැන කථිකාවන් ඇති කරමින් ගොඩ නගමින් යන බලවේගය කවදා හෝ පල දරාවි..දිගටම ලියන්න මොරබ්බා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් කාලෙකින් නේද මේ පැත්තේ...
      මම ලියන්නේ සමාජයක් වෙනස් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. මට ලදී හිතුන දෙයක් තමයි මීට කාලෙකට කලින් තැන් තැන් වල පොඩියට දෙතුන් දෙනෙක් වපුරපු ජාතිවාදී අදහස්ම නේද අද මහා ලොකුවට පිළිකාවක් වගේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියල.අපි උත්සහ කරමු හොද දෙයක් දීල යන්න...

      Delete
  5. සහතික ඇත්ත රටක් දියුණු කරන්න නම් රටේ නිෂ්පාදනය වැඩි කල යුතුයි ඒ අනුව රටේ යටිතල පහසුකම් වැඩිදියුණූ කල හැකියි.ඔන්න ඕක තේරුම් ගන්න බැරුව මටත් ‍වැරදුනා ඒ මොකද කියනවනම් කිසිම නිෂ්පාදනයක් නැතුව මම වාහනයක් ගත්තා බිස්නස් කරන්න කියලා දැන් බිස්නස් නෑ වාහනය තියාගෙන ඉන්නවා ‍ෆිනෑන්ස් ගෙව ගෙව අන්න ඒකත් හරියට යටිතල පහසුකම් ඔන තරමි තියෙන හැබැයි ඒ වෙනුවෙන් වියදම් කරන්න කිසිම නිෂ්පාදනයක් නැති රටක් වගේ

    ReplyDelete
    Replies
    1. ඕනෑම ව්‍යාපෘතියක් කරද්දී pay back time කියල එකක් බලනවා ඒ කියන්නේ ව්‍යාපෘතියට වැය වන මුදල ප්‍රතිලාභ ලෙස ආපසු ලැබීමට ගතවන කාලය. රජයේ ව්‍යාපෘතිවල සමහර විට මෙය වසර 10 ක් 15 ක් පමණ වෙනවා පුද්ගලික අංශ වල අඩුයි. උපරිම 3 ක් හෝ 5ක් මේ කරලා තියෙන එව්වයේ නම් ආදායම් ලැබෙනකොට කී කාලයක් යයිද දන්නේ නැහැ. අර ගල් අගුරු බලාගාරෙත් විකුණලා දාන්නේ එකයි ස්තුතියි වැව් ඉස්මත්ත ඔබේ අදහසට. වාහනේ හොඳ company එකක් බලල කුලියට හරි දීල දැම්මනම් මොකද නඩත්තුව හරි cover වෙයි.

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...