Wednesday, October 23, 2013

තවත් සන්දර්ශන දෙකක් තුනක්


2014 වර්ෂය සඳහා වන අය වැය ලේඛනය මේ දිනවල ලහි ලහියේ සැකසෙමින් පවතී. රජයම පවසන ලෙස ශ්‍රී ලංකාව ආදායම් තව තවත් වැඩි කරගතයුතු අවදානම් අවස්ථාවක පසුවේ. ඔය කියන අවදානම කවදත් පැවතුන එකකි. මුල්‍ය කළමනාකරනය අතින් කවදත් අසමත් ලංකාව තම අසීමිත විදේශ ණය වාරිකය හා පොළිය ගෙවා ගැනීමටද වෙළඳ හිඟය පියවීමටද මගක් සොයමින් සිටී. හිතුමතේ මහාපරිමාණ ව්‍යාපෘති කරමින් ඒවායින් ලබන ප්‍රතිලාභද අහිමි කරගනිමින් කොමිස් ගැසීම සඳහාම ව්‍යාපෘති කෙරෙන මට්ටමකට ඇදවැටී ඇත. පෙර පැවති දූශිත රජයයන් හි සිටි දේශපාලුවන් සිදුකෙරෙන ව්‍යාපෘති තුලින් කොමිස් ලබාගත්තද දැන් සිදුවනුයේ කොමිස් ලැබීමේ හෝ නම බැබලවීමේ අරමුනින් ඒ සඳහාම සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමය. දේශපාලුවන් පමණක් නොව උන් වටේ සිටින එහෙයියන් ගැත්තන් මතු නොව බලු කුක්කන් ගේ පවා ජීවිත සුඛිත මුදිත වී තිබෙන්නේ ඒ අනුභාවයෙනි. ආර්ථිකය දියුනු කිරීම සඳහා රජය තවදුරත් සේවා අංශය දෙස අවධානය යොමු කර ඇති බව පැහැදිලිය. 


         මෑතක සිට ඇසෙන කැසිනෝ ගාලගෝට්ටියද එවැන්නකි. දේශප්‍රේමී හංවඩුව ගසාගත් බලවේග විසින් මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට ඔසවා තැබීමෙන් පසු  සිදුකරන ලද තීරනාත්මක යුධමෙහෙයුම් වලින් පසු තම පැවත්ම තහවුරු කරගත් ඔහුට තව දශකයක් උව බලයේ සිටීමට එය ප්‍රමානවත්ය. ඒ අතර ඔහු වටා ඒකරාශී වු ව්‍යාපාරික බලමුළු රිසි සේ තම සුරාකෑම සිදුකරගෙන යයි. ධනේශවරයට පාට පක්ශ මතවාද නැත. ඇත්තේ එකම බල කඳවුරකි. දකුනේ පමණක් නොව උතුරේත් තත්වය එයයි. බිම් මට්ටමේ මතවාදයන් අති ශූක්ශමව නඩත්තු කරන
අතරේ ඉහල මට්ටමේදී සියල්ලෝම ක්‍රමය හා සැතපෙති. බොහෝ දෙනෙකු තේරුම් නොගත් දේශපාලන යතාර්තය එයයි. සිංහල බෞද්ධ වේවා දෙමළ මුස්ලිම් ජාතික විජාතික හලාල් හරාම් UNP TNA යන මේ සියල්ලට මැදිව දුක් විඳින්නෝ පොදු ජනතාව නොහොත් හිඟන්නෝය. යම් දිනක හිඟන්නන් රජ වුවද පවතින්නේ එම ක්‍රමයම වේ. මෙහිදී ජ.වි.පේ ක්‍රියාකරිත්වද ප්‍රශ්නාර්තයකි. ක්‍රමය වෙනස් කිරීමට පොරොන්දු වුවෝද සියල්ලට ඉහලින් තම පැවත්ම ‍තෝරාගෙන ඇත්දැයි සැක සිතේ.  වේදිකාවල කෑමොරදී අප වෙනුවෙන් පෙනීසිටින්නට පත් කරගත්තවුන් ගැන තවදුරටත් විශ්වාසය තැබිය යුතු නොවේ. බිම්මට්ටමේදී අප තනිව අප වෙනුවෙන් පෙනීසිටිය යුතු යුගය පැමිණ තිබේ.

          ජාති ආගම් ආදී ගෝත්‍රික මතවාද දිලින්දා මත පටවා උනූන් ඇන කොටාගන්ට සලසවා තමන්ගේ පංගුව කේවල් කරමින් සිටින මේ කපටි නරින් මත යැපීම වහ වහා නැවත්විය යුතුය. තවත් රතුපස්වලක් පිළියන්දල නිර්මාණය වීමෙන් අනූ නමයෙන් අප බේරුනි.

කැසිනෝ වලට අප විරුද්ධ වීමට හේතුවක් නැතත් අසීමාන්තික බදු සහන ලබාදීමේ හේතුව කුමක්ද?
රජයට සත පහක ආදායමක් නොලැබෙන ලෙස සිදුකරන මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල අරමුණ කුමක්ද?
නම ගැසීමේ හා කොමිස් ගැසීමේ අරමුනින් පමණක් සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමෙන් බලාපොරොත්තුවන සංවර්ධනය කිම?

අප කලයුත්තේ අධිවේගී මාර්ග වරාය පර්යන්ත ආදිය විවෘත කිරීමට ප්‍රථම එම සංදර්ශන නැරඹීමට ගොස් සතු‍ටු කඳුලු හෙලීම නොව මුල්ලකට වී හඬාවැලපීමයි.





ප.ලි.   සම්බන්ධිත ලිපි (ලිකාරස් ගේ පාඩම)

.

28 comments:

  1. the bitter truth....!

    වෙලාවකට මට හිතෙනවා ඔබට, මට හා තවත් සීමිත කොටසකට විතරක්ම මේ දේවල් පෙනෙන්නත් බහුතරයක් මහජනයාට මෙය නොපෙන්නෙන්ත් රටේ අවාසනාවටද කියලා. සංවර්ධනය කියලා අපේ රටේ වෙන ඊනියා ව්‍යාපෘති බැලුවම දැනෙන්නේ කනගාටුවටත් වඩා දෙයක්. ඒක පාලක පන්තියේ අයට විතරක් බලපානවා නම් හිත හදාගන්න හරි පුළුවන් කියමුකෝ. උන්ගෙ මගඩි වලට ජාතියක්ම විතරක් නෙමෙයි ඉපදෙන්න ඉන්න පොඩි එකාලගේ පොඩි එවුනුත් ණය ගෙවන්න ඕනේ කියලා මතක් වුනාම මරාගෙන කන එක ඇරෙන්න වෙන දෙයක් ඉතිරි වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. රන්ගි මෙන්න මේක බලන්න පුළුවන් වෙලාවට ... 02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.

      මේකේ පළමු කොටසත් කියවන්න මතක ඇතුව .........

      Delete
    2. ඒක ඇත්ත මාළු නටනවා රංගි මෙවට පරම්පරාගනනක් ණය ගෙවන්න වෙනවා.
      අර රතු ඉන්දියානු නායක සියටැල් කිව්ව කතාව මට මතක් වෙනවා
      “We do not inherit the earth from our ancestors; we borrow it from our children”
      (මෙය අප මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද බිමක් නොව අනාගත දරු පරපුරෙන් ලබා ගත්තකි)

      Delete
    3. ටීන් ට්‍රී ට්‍රී න්…………….
      ටීන් ට්‍රී ට්‍රී න්…………….
      “කවුද මේ රජ වාසලට කතා කරන්නේ”
      “ආ…………… එතුමා එහෙම කීවද?, එළ කිරි නිවුස් එක! ටුක් ගාලා දාන්නම්”
      <<<>>>
      එතුමා : “එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්…! පෝම්!! හාමුදුරුවනේ! මට මේ අය වැයෙන් මීට වැඩිය දෙයක් දෙන්න බෑ මගේ හාමුදුරුවනේ!!…….”
      හාමුදුරුවෝ : “එහෙයි එහෙයි.”

      Delete
  2. තනිකරම කොන්ඩේ බැඳපු චීන්නු ටිකකට ගැළපෙන ආණ්ඩුවක් මේ මොරේ..රජයේ ටෙන්ඩර් වගේමයි මේ අය වැය සෙල්ලමත් ... බොරුවට ටෙන්ඩරේ කෝල් කරනවා.. යටින් ටෙන්ඩරේ පාස් වෙනවා..

    අයවැය ෂෝ එකත් එහෙමමයි...

    ReplyDelete
    Replies
    1. සහන්,
      අප ජීවත් වන්නේ
      අප වෙනුවෙන් පෙනීසිටීමට පැමිණියවුන් අපවම පාවාදෙන,
      අප දරුවනට උගැන්වීමට පත් කලවුන් උන්ටම අතවර කරන,
      අපට බෙහෙත් ගන්න පත් කලවුන් අපටම වස බෙහෙත් පොවන අතපය කපන මරාදමන.
      අපේ ආහාර ගැන සොයන්න සිටිනවුන් අපටම වස කවන
      අපේ වගාවට වතුර පෝර දෙන්න සිටිනවුන් අපේම කුඹුරු වනසන.
      රටකය

      Delete
  3. මේ ආන්ඩුවට කිසිම දෙයක් ගැන දැක්මක් නෑ. එහෙම තියෙන්නත් බෑ. ලොක්කා ඡන්ද වැඩ වලට වැඩ කාරයා උනාට.. ආර්ථිකය පැත්තෙන් ඉස්සරත් ෆේල් පොරක්.. කිසිම දැක්මක්, වැඩපිලිවෙලක් නැති අය රජ උනාම ඕක තමයි වෙන්නේ.. මහින්ද චින්තන කියන පොතේ තියෙන්නේ මහින්දගේ චින්තනයක් නෙමෙයි, ජෙප්පන්ගේ චින්තනේ.. ඕකම තමයි පුංචි ප්‍රේමේ ආවත් කරන්නේ.. මෙළෝ වැඩ පිලිවලක් නෑ.. බලය ගන්න විතරයි දත් කන්නේ.. මේක රටේ ජනතාවගේ කරුමයක්..

    ReplyDelete
    Replies
    1. හැමොටම ඕන තමන්ගේ පැවැත්ම සරි කරගන්න විතරයි මාතලන් ඔබ කියන කතාව ඇත්ත. පොඩි ප්‍රේමෙත් අමුම අමු මහින්ද කොපියක්. අපටම කියා පදනමක් දැක්මක් හදාගන්න තාමත් අපට බැරි වෙලා. වත්මන් ජනපති වටේ ගොඩනැගිච්ච බලය පිළිගැනීම එක්ක ඔහුට ඒ වෙනුවෙන් ප්‍රවේශයක් ගන්න තිබුනා.
      ඔහුත් සුපිරි මට්ටමේ දේශපලන නළුවෙක්...

      Delete
  4. තමන්ගේ අවශ්‍යතාවය වෙන දෙයක් උනාම කවදාවත් අපිට ඕන දේ කරල දෙන්න දේශපාලකයෝ උත්සාහ කරන්නෑ මොරා.

    ReplyDelete
    Replies
    1. හැමොගෙම අවශ්‍යයතාවය තමන් ගොඩ යන එක පමණයි දෙශා මේක වේදිකාවල පාර්ලිමෙන්තුවල උසාවිවල රඟදැක්වෙන නාටකයක් පමණයි. අපිත් මේක බල බල එකිනෙකාව මරාගන්න හදනවා පිස්සෝ ‍රැලක් වගේ බෙදිලා. හොඳම දේ රටේ ජනතාව දැනුවත් කරන එක හැමදේම ගැන ප්‍රමිතියක් පදනමක් හදාගන්න හැටි දැනුවත් කරන එක.

      Delete
    2. ඇත්ත. අපි ඔතෙන්ට ගියත් ඔච්චර යි :D

      Delete
    3. මේක තමයි සිස්ටම් එක. ඒකට හැමෝම හුරු වෙලා. එත් මිනිස්සු මීට වඩා විනයගරුක හා ආචාරශීලී උනොත් වෙනසක් කරන්න පුලුවන් වෙයි දිලිනි..

      Delete
  5. මැක්කගෙ කතාවෙ වගෙ අන්තිමට කියන්න තියෙන්නෙ අපිම තොරල යවල අපිටම ඇරව ගත්ත කියල තමා.(දැන් කවුරු හරි රෙද්ද උස්සගෙන අහන්න එපා විකල්පෙ මොකක්ද කියල )
    හය හතර

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් නවතින්නේ නැහැ නේ. ආයෙම චුන් වෙලා උඩ පැනල නටලා අහල පහල උන්ටත් ගේම දීලා ඌවම පත්කරල යවනවනේ. එකම දේ සිද්දවෙන්නේ අපිත් හැමදාම එකම දේ ගැන කතා වෙනවා පොඩ්ඩක් වෙනස් විදිහකට.
      ලෝකෙ අනික් රටවලට වඩා අපේ රටේ මිනිස්සු හරි වෙනස්.... :D

      Delete
    2. මං මේ රෙද්ද පහත දාගෙන අහන්නේ :D ,ඇත්තටම විකල්පය මොකක්ද?

      Delete
    3. විකල්පෙකට මෙ ක්‍රමෙ ඉඩ නැ ඉවාන්.මෙකෙ හැප්පෙන්න පුලුවන් වෙන්නෙ එ විදියෙ ක්‍රමෙකින් සල්ලි හොයපු විසිකරන්න සල්ලි තියෙන කෙනෙකුට විතරයි.නිකමට එක සැරයක් මිනිස්සු පෙන්නුවොත් ප්‍රතිපත්ති ගරුක මිනිහෙකුට දිනන්න පුලුවන් කියල එදාට මෙක වෙනස් වෙවි.

      Delete
  6. ක්ෂණික සහන බලාපොරොත්තුවෙන් ඉන්න ජනතාවට මොන වැඩපිලිවෙලවල්ද ? අද කෑවා ,හෙට තිබ්බොත් කෑවා ජනතාවත් එහෙමයි රජයත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හහ් මේක තමයි ලාංකීය ක්‍රමය. දැක්මක් නැති උන්ට දැක්මක් ලැබේවා කියලා පතමු ඉවාන්

      Delete
  7. මොරා.....ඉස්සර තිබුනා ක්‍රම සම්පාදන සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය කියලා එකක්. රටේ උගත් බුද්ධිමත් නිලධාරීන් මේ වටා හිටියා. සීයට සීයක් මේ තුලින් නිවැරදි තීරන ගත්තා කියලා කියන්න බැහැ. මෙවැනි අමාත්‍යාංශ වෙනුවට දැන් තියෙන්නේ මොනවාද? ක්‍රමානූකූල වැඩපිලිවෙලවල් සම්පාදනය වෙනවාද? ඒ සැලසුම් ක්‍රියාත්මක වීම අධීක්ෂනය වෙනවාද? පාරේ වතුර පයිප්පේ විවෘත කරන්නෙත් ඇමතිවරු. රටට ......වඩා වැදගත් තීන්දු තීරන ගන්නේ එක් කෙනෙක් හෝ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ රටේ උගත් බුද්ධිමත් නිලධාරී යාන්ත්‍රනයක් නැති එක ලොකු අවුලක් ප්‍රතිපත්ති හැදෙන්නේ දේශපාලකයට ඕන විදිහට උන්ගේ චන්ද කුට්ටියට ගැලපෙන්න. නිලධාරීනුත් ඊට යට වෙලා. දැන් ඉතින් ඉන්න ඇමතියෝ ගානට බෙදල දෙන්න අමාත්‍යාංශ විශයයන් කීතු කීතු කරලනෙ තියෙන්නේ වෙන එකක් තියා ඇමති කෙනෙකුටවත් නිදහසේ වැඩක් කරගන්න පුලුවන් තත්වයක් නැහැ මේ රාජාන්ඩු ක්‍රමය තුල.

      Delete
  8. පෙට්‍රල් ලීටරේට බද්ද රු : 80/-
    මුං ඇට කිලෝ එකට බදු රු :100/-

    කැස්නෝ වලට බදු රු:0.00/-

    ආයුබෝ වේවා... මහ රජාණෙනි

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ බං සමහර ගොබ්බයෝ කියනවා උන්දැ අපේ අයුෂත් අරන් ජීවත් වෙන්න ඕනලු. කොහොමත් උන්දැ අපේ ආයුෂ තමා වලඳන්නේ.

      Delete
  9. මේ අපේ මහා රජාට බනින්නෙ ඔක්කෝම උන් පිටරට සල්ලි ගත්ත උන් .ඇයි දැන් මේවා දිලා තියෙනවා මදිද
    CSN එකේ රගර් මැච්
    ITN ප්‍රවෘත්ති
    මාලන්ගෙයි මර්වින්ගෙයි ගොන් පොර
    රැට යන කාර් රෙස්
    බඩ පිරෙන්න හොදට දත් මිටි කන්න
    රටට අශ්චර්යය ඇවිත් හෙට උදේ ඉදලා කැසිනෝ ගහල
    ඕන අයට ගණිකාවක් එක්ක සතුටු වෙන්න
    යන්න ඔනම අයට CTB වෙනුවට නොමිලේ සුදු වැන්

    තව ගොඩක් දෙවල් තියෙනව අපේ රජා අපිට දුන්නු අශ්චර්යයමත් දෙවල්
    බොලාලට ඔවා පෙන්නෙ නෑ ඊර්ෂ්‍යාවට





    ReplyDelete
    Replies
    1. රට මේ යන විදිහට තව වසර 7-8 ගියොත් මහා විනාශයක් සිදුවෙනු ඇත .විශේෂයෙන්ම අපි ඉන්දීය හා චින රට වලට නිල නොවන ලෙස යටත් විමට සිදුවනු ඇත ..එ තරමටම දැන් එක් පුද්ගලයකු මත ණය බර පැටවි තිබේ කබ්රාල් මහතා කොතරම් ඉලක්කම් හරබ කරද එ වන විට වැඩක් නොවනු ඇත ....

      Delete
  10. //බිම්මට්ටමේදී අප තනිවම අප වෙනුවෙන් පෙනීසිටිය යුතු යුගය පැමිණ තිබේ. //
    අම්මපා ලඟ තියෙනවානම් උබේ කටේ මසුරන් දානවා.

    ReplyDelete
  11. අනේ මොරබ්බා බොරු කියන්න එපා බන්. දැන් බලපන් සංවර්දනය නිසා අපිට ලැබෙන ආදායම. ලබන වසරේ අයවැය හිගයක් නැහැ. අතිරික්ත යක් විතරයි තියෙන්නේ. ලබන අයවැයෙන් පැසී කිසිම් කෙනෙක්ගෙන් බදු අය කරන්න ඕන වෙන්නේ නැහැ එකට පෙරහුරුවක් විදිහට තමය කැසිනෝ වලට බඩු සහන දීලා තියෙන්නේ.

    මෙන්න බලහන් ආදායම ලැබෙන විදිහ.

    හම්බන්තොට වරායෙන් ඩොලර් බිලියන ගානක ආදායම්
    මත්තල ගුවන් තොටුපලින් ඩොලර් බිලියන ගානක ආදායම්
    කැසිනෝ වලින් ඩොලර් බිලියන ගානක ආදායම්
    අනාගතයේ දී නීතිගත කරණ ගණිකා ව්‍යාපාර වලින් ඩොලර් බිලියන ගානක ආදායම්

    තව මොනවද ... ආශ්චාර්යය කොල්ලෝ ..ආශ්චාර්යය

    ReplyDelete
  12. මොකෝ මොරබ්බා පේන්න නැත්තේ ...........

    ReplyDelete
  13. දැන් 2016.. ආපහු ආවොත් මොකෑ...

    ReplyDelete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...